- කොණ්ඩෙයි ගොතයයි
පොඩි දරුවෙක් වචන අහුලා අහුලා කතා කරන්න පටන් ගන්න කාල සීමාව අතරතුර මුල්ම වතාවට කොණ්ඩේ කැපුවම දරුවා ගොතගහන්න පටන් ගන්නවා කියල මතයක් අපේ වැඩිහිටියෝ අතරේ තියෙනවා. මේ හේතුව නිසාම කොණ්ඩේ දිගට වැවිලා, උකුණෝ බෝවෙලා, ඔලුවේ කුෂ්ට රෝග සහ දාඩිය බිබිළි පවා ඇතිවෙලා තියෙන දරුවාගේ හිසකෙස් කපා දාන්න ඇතැම් මපියන් මැලිවෙනවා. හැබැයි මේ කියන කාරණය කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැති හුදු විශ්වාසයක් පමණයි කියන කාරණය වටහාගැනීම අලුත් අම්මලා තාත්තලට වගේම පොඩ්ඩන්ටත් විශාල සහනයක් වේවි.
- ඩයපරයයි බකල් කකුලයි
දරුවාට ඩයපරයක් ඇන්දවීම, දරුවාටත් මවටත් රාත්‍රී කාලයේදී සුව නින්දක් ලබාගන්න විශාල උපකාරයක් වෙන බව සමහරවිට ඔබ දැනටමත් අත්දැකලා ඇති. දරුවා හොඳින් පිරිසිදු කර, නැපි රෑෂ් ක්‍රීම් ආලේප කර, නිසි ප්‍රමිතියක් සහිත ඩයපරය ඇන්දවීමත්, නියමිත කාලසීමාවක දී එය මාරුකිරීමත් මඟින් දරුවාට අපහසුතා ඇතිවීම අවම වෙනවා. හැබැයි සමහර උදවිය කියන විදියට ඩයපර් ඇන්දවීමෙන් දරුවාගේ කකුල් බකල් වීමක් සිදු වෙනවා හෝ වෘෂණ කෝෂ කුඩා වෙනවා කියන අදහස නම් පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.
- බාලගිරි
ළදරුවෙක් සන්නිවේදනය සිදු කරන්නේ සහ සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත්තෙත් හැඬීම මගින් පමණයි. බඩගින්න, සීතල, රස්නය, බඩේ වාතය පිරීම, නිදිමත, ශාරීරික අවශ්‍යතා, තනිකම වගේ ඕනෑම හැඟීමකදී දැනීමකදී පොඩ්ඩෝ කරන්නේ අඬන එක.
බාලගිරි අද නොවේ හෙට”
කියන දැන්වීම දොරේ එල්ලීමේ නම් කිසිම විශේෂ වැරද්දක් හෝ හොඳක් නැති වුනත් යම් කාල සීමාවක් ගතවෙනකන් ම පොඩි දරුවෝ අඬන එක නම් සාමාන්‍ය කාරණයක් බව තමයි වෛද්‍ය මතය වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවලදී බාලගිරිට දෝෂය නොපවරා දරුවාගේ අවශ්‍යතාවය තේරුම් අරන් එයට පිළියම් කිරීමෙන් දරුවාව නළවාගන්න පුළුවන් කියන කාරණය වටහා ගැනීම තමයි වඩාත් ම සුදුසු වෙන්නේ.
- බත් කැඳ මේනියාව
දරුවාට අවශ්‍ය සියලුම පෝෂණය සහ ජලය, මව්කිරි අඩංගු වන නිසා මාස 6 ගෙවෙනකන් දරුවාට මව්කිරි පමණක් ලබාදීම තමයි පිළිගත් ක්‍රමවේදය වෙන්නේ. පිටිකිරි ලබාදීමට සාධාරණ හේතුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත පමණක් පිටි කිරිත් මාස 5 දී පමණ ඝන ආහාරත් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා.
සමහර වැඩිහිටියන් මාස 3 පසු වූ දරුවාට පලතුරු යුෂ, බත් කැඳ සහ වතුර ලබාදෙන්න බලපෑම් කරන අවස්ථා දකින්න තියෙනවා. ඒ වගේම ඝන ආහාර පටන් ගත් දරුවාගේ ආහාරවලට ලුණු සහ සීනි එක්කිරීමට උත්සාහ කරන වැඩිහිටියොත් ඉන්නවා. දරුවාගේ නිරෝගිකම ඇතුළු සියලුම කටයුතු පිළිබඳ සම්පුර්ණ වගකීම ඇත්තේ දරුවාගේ මව්පියන්ට පමණක් නිසා මෙවැනි අවස්ථා මගහරවාගෙන වෛද්‍ය උපදෙස් අනුව පමණක් කටයුතු කිරීමේ අයිතියත් මව්පියන්ට තියෙනවා.
- අම්මට කිරි මදි
දරුවෙක් නිතර අඬන්නේ, හැඬීම දරුවාගේ එකම සන්නිවේදන මාර්ගය නිසාවෙන් කියලා වටහා නොගන්න ඇතැම් වැඩිහිටියන් මන්තරයක් වගේ “අම්මට කිරි මදි” කියන වචන ටික මතුරන්න පටන් ගන්නවා. ඇති පදමට කිරි බීලා බඩ පිරිලා ඉන්න දරුවා වමනය දානතුරුත්, අම්මාගේ පියයුරු තුවාල වනතුරුත්, මේ වචන කීපය නිසාම ඇය උපරිම වශයෙන් මානසිකව පිරිහෙනතුරුත් මව්කිරි ලබාදෙන්න බලකරන වැඩිහිටියන් අදටත් මේ සමාජයේ ඉන්නවා. එහෙමත් නැත්නම් ඇති තරම් මව්කිරි බොන දරුවාට පිටිකිරි ලබාදෙන්න බලපෑම් කරනවා.
හැබැයි දරුවා නියමිත බර තීරුවේ ඉන්න බව වෛද්‍යවරයා/ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය තහවුරු කරනවානම්
අම්මට කිරි නෑ, ඒකයි බබා අඬන්නේ”
කියන වචන ටික මිත්‍යාවක් විදියට සලකලා බැහැරකරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ.
- අත පය ඇඹීම
දරුවෙකුට උප්පත්තියෙන් හිමි වන්නේ මව්පියන්ගේ පෙනුම කියන කාරණය වටහා නොගන්නා ඇතැම් වැඩිහිටියන් අලුත උපන් සිගිත්තාගේ හිස, අතපය, නහය, කට, තල්ල, කන, නිකට කියන සෑම සියළු අවයවයක්ම මිරිකා පොඩිකර ඇද වෙනස් කරන්න උත්සාහ කරන ආකාරය අදටත් දකින්න තියෙනවා.
මෙයින් දරුවාගේ අවයව විකෘති වෙන්නට පවා ඉඩ තියෙන නිසා මේ විදියට අවයවල හැඩයන් වෙනස් කරන්න උත්සහ කරන එකනම් එතරම් සුදුසු ක්‍රියාවක් විදියට දකින්න අපහසුයි. මව්කුසේ ඉන්නකොට ගුලිවී තිබූණු අතපය දරුවා වයසින් වැඩෙනකොට නියමිත විදියට සැකසෙනවා. කිරි උරාබොන්න පහසුවෙන්න පිහිටා තියෙන උස වූ තල්ල වයසින් වැඩෙන කොට පහත්වෙනවා. උපතේදී දිගටිව තියෙන හිසත් පසුකාලීනව වෙනස්වෙලා නියමාකාර විදියට හැඩගැහෙනවා. ඒ වගේම ළපටි නහය, නිකට වගේ අවයවත් වයසින් වැඩෙනකොට හරියාකාරව වෙනස්වෙනවා. යම් විදියකින් දරුවාගේ කුමක් හෝ අවයවයක වෙනසක් විශේෂයෙන් කැපී පෙනෙනවානම් සුදුසුකම් ලත් ළමා රෝග වෛද්‍යවරයෙකුගෙන් පමණක් නිසි උපදෙස් ලබාගැනීම සුදුසුයි කියන කරුණත් අපි මතක් කරනවා.
- ඇති තරම් අඬන්න දෙන්න
ළදරුවෙක් හැඬීම අත්‍යවශ්‍ය කරුණක් වුනත් හෙම්බත් වනතුරු අඬන්න ඉඩහරින එකනම් කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. අඬන දරුවා වඩාගෙන, අඬන හේතුව වටහාගෙන පිලියමක් යෙදීම අත්‍යවශ්‍යම කටයුත්තක් කියලා තමයි වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ. ඒ වගේම දරුවෙක් හඬන වෙලාවට දරුවා වඩාගැනීමෙන් සහ සුරතල් කිරීමෙන් දරුවා “නරක් වෙනවා/ අතට පුරුදු වෙනවා” කියන අදහස් යල්පැනගිය මිත්‍යා විශ්වාසයන් විදියට මේ වෙනකොට සොයාගෙන තියෙනවා.
- රතගාය
උපතින් සතියකට දෙකකට විතර පස්සේ බොහෝ දරුවන්ගේ ශරීරයේ කුඩා බිබිලි රාශියක් ඇතිවී සතියකින් පමණ ඉබේම සුව වෙනවා. දරුවා අපහසුවෙන් බව වැටහෙනවානම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න එක තමයි වඩා සුදුසු. හිතුමතේට රතකල්කය වගේ දේවල් ලබාදීම අනුමත කරන්න බැරිවෙන්න හේතුව තමයි වර්තමානයේදී මෙවැනි අත්බෙහෙත්වල සෞඛ්යාරක්ෂිත බව හරියාකාරව තහවුරු කරගන්න අපහසු වීම.
“
රත්කල්කය ලබාදීමෙන් දරුවාගේ ලපකැළැල් බිබිළි වගේ දේවල් ඇතිවෙන්නේ නෑ”
කියන කාරණය පිළිගන්න අපහසු වෙන්නේ එවැනි දේවල් ලබානොදුන් දරුවන්ට පවා පැහැපත් සමක් හිමිවෙලා තියෙන බව දකින්නට ඇති නිසයි.