free stats

රස නහර පිනවන්න,
ජීවිතය රැකගන්න
මැටිවලින් වැඩ ගන්න…..
මැටි භාජනවල සෞඛ්‍යාරක්‍ෂිතව උයමු……………………….

ගර්භණී කාලයේ දී සෞඛ්‍ය අතින් වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණා
රැසක් තිබෙනවා. ඒ අතරින් තම පුද්ගලික පරිහරණය සඳහා තබාගන්නා භාණ්ඩ කොතරම් දුරට සෞඛ්‍යට හිතකරද නැද්ද යන්න පිළිබඳව විමසිලිමත් වීම වැදගත්. මේ කාලයේ දී පහසුව තකා තෝරාගන්නා බොහෝ දේ කාලයක දී ඔබව හඳුනා නොගත් කායික රෝගයක සිරකරුවෙක් බවට පත් කරනවා. ප්ලාස්ටික් සහ ඇලුමිණියම් භාවිතයත් අන්න ඒ වගේ. මේ ආකාර දෙකෙහිම උපකරණවලින් සිදුවන්නේ අහිතකර රසායන ද්‍රව්‍ය ඔබේ සිරුරට පහසුවෙන් ඇතුල් වීමයි. පුංචි පැටියාගේ ආහාර පිසින්නට, පැටියාට ආහාර කවන්නට යොදාගන්නා ප්ලාස්ටික් සහ ඇළුමිණියම් වලින් සිදුවන්නේත් කුඩා කාලයේ දීම පැටියා පිළිකාකාරකවලට නිරාවරණය වීමයි. මේ නිසාම එයට විසඳුමක් ලෙස මැටි භාජන භාවිතය පිළිබඳව අලුත් අදහසක් මතු වෙමින් තිබෙනවා.

මැටි භාජනවල වළංවල උයපු කෑමවල රසය ගැන ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැ. අදටත් හුඟක් ගෙවල්වල මාළු ඇඹුල්තියල්, මස් වර්ග, පොළොස්, කැකිරි ඇඹුල හැදෙන්නේ මැටි හට්ටියේ. ඒ වෙනුවෙන්ම වෙන්කරපු මැටි හට්ටියක් හෝ දෙකක් ඕනම ගෙදරක තියෙනවා. පැරැන්නෝ ආහාරයේ පෝෂණය ගැන වගේම රසය පිළිබඳවත් වැඩි අවධානයක් යොමුකළ බව අපි හොඳින්ම දන්නවා. බත් කාලා ඉවර වුණාට පස්සේ හට්ටිය පිහගෙන කන අන්තිම බත් කට තමයි අපි කන රසම බත් කට වෙන්නේ. එහෙම පුරුද්දක් අතර ඇතිවුණේ ආහාර බිඳක්වත් අපතේ නොදැමීමේ හොඳ පුරුදු අපි අතර එදා ඉදලම තිබුණු නිසා. ගොවියෙක් හාන පෝරු ගාන තැන ඉදලා බත් ඇටයක් පිඟානට එනකල් කරන විර්යය නිසාම එදා ඉදලා පැරැන්නෝ බත් කටක් අහක දාන එක සැලකුවේ පවක් විදියට.

ඉතින් ගැමි සංස්කෘතියත් එක්ක බැඳුනු ස්වයංපෝෂිත ආර්ථිකයක් සහ ජීවන පැවැත්මක් ගැන කතා කරන අපිට මේ වෙද්දි පවතින තත්ත්වයත් එක්ක සමහර කාරණා අමතක කරන්න සිදුවෙලා තියෙනවා. මැටි භාජන අපෙන් ඈත් වෙන්නෙත් එහි ප්‍රථිපලයක් විදියට. ප්‍රධාන වශයෙන්ම මැටි භාජන ඉක්මනින් බිදෙන නිසා ගොඩක් දෙනෙක් ඇලුමිනියම් භාවිතයට හුරුවෙලා ඉන්නවා. නමුත් මැටි බඳුන් ඉක්මනින් බිදෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඒවා තත්ත්වයෙන් ඉහළයි කියන එක. සිරුරට අහිතකර නෑ කියන එක. ඒ වගේම ගෑස් භාවිතයත් එක්ක මැටි වළං භාවිතය තවදුරටත් යටපත් වුණා. මැටි බඳුනක් රත් කරගන්න වැඩි ගෑස් ප්‍රමාණයක් වැය වීම තමයි එයට හේතුව වුණේ. නමුත් දැන් වෙළඳපලේ ගෑස් උඳුන්වලට ගැලපෙන ගෑස් වළං තිබෙනවා.

හොඳින් වතුර පානය කිරීම පිළිබඳව අපි නිතර ඔබව දැනුවත් කරනවා. ඒ නිසාම දැන් කිසිම කෙනෙක් අතේ වතුර බෝතලයක් වරදින්නේ නැහැ. නමුත් පහසුව තකා භාවිත කරන්නේ ප්ලාස්ටික් වතුර බෝතලයක් නම් එයින් බලාපොරොත්තු වෙන ප්‍රථිපලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රවාහනයේ පහසුව තකා වීදුරු බෝතලයක් භාවිත කරන්න පුළුවන්. නමුත් මැටි බඳුනක් භාවිතයට ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. අඩුම වශයෙන් නිවසේ, කාර්යාලයේ හෝ ඔබ නිතර ගැවසෙන තැනක මැටි බඳුනක් තබාගන්න පුළුවන් නම් එයින් වඩාත් ඉහළ ප්‍රථිපල ලැබෙනවා.

මැටි ගුරුලේත්තුව හෝ මැටි කළයේ ජලය පානය කිරීම සාමාන්‍ය සම්ප්‍රධායක්. නමුත් එයින් ලැබෙන ප්‍රථිලාභ පිළිබඳව අපේ ලොකු අවධානයක් තිබුණේ නැහැ. මැටි කළයේ වතුර ගුණ බව දැනගෙන හිටියත් ඒ පිළිබඳව පර්යේෂණාත්මකව ඔප්පු කළේ මෑතකදී. ඒ විද්‍යාත්මක වාර්ථාවකින්. එයින් කියවෙන්නේ, ශරීරයේ පැවැත්මට අවශ්‍ය යකඩ, කොපර්, මැග්නීසියම් , කැල්සියම්, ෆ්ලෝරයිඩ් වැනී අත්‍යාවශ්‍ය ලවණ ගබඩා වී පවතින්නේ පොලවේ. අපට පස් කන්නට බැරි වුනත් ශාක මගින් අවශෝෂණය කර ගැනීමෙන් පසුව එළවලු‍, පලතුරු, කොළ එළවලු‍ වර්ග හරහා මේ ලවණ වර්ග අපේ ශරීරයට ලැබෙනවා. ඊට අමතරව ළිං ජලයෙනුත් යම් පමණකට මේ ලවන ශරීරයට ලැබුනා. අවශ්‍ය පමණ මේ ලවන ශරීරයට නොලැබීම විවිධ රෝග සඳහා හේතු වෙනවා. ළිං ජලය කළයක ගබඩා කලාම කළයේ ඇති මැට්ටෙනුත් ශරීරයට අත්‍යාවශ්‍ය ලවන එහි ගබඩා කල ජලයට එකතු වුනාලු‍. ඒ විතරක් නෙමෙයි ළිං ජලයේ යම් අහිතකර ලෝහ ලවණ සහ බැර ලෝහ ඇති විටදී ඒවා මැටි බිත්තියට අවශෝෂණය කර ගෙන වතුර ශරීරයට හිතකර ලෙස සැකසිමකුත් කළෙන් සිදු වෙලා තිබෙනවා.

අද තරමට සෞඛ්‍ය පහසුකම් සහ තාක්ෂනය නොදියුණු යුගයක රෝග අඩු වන්නට මැටි කළයේ වතුර උපකාරී වුනේ මෙන්න මේ ආකාරයටයි. ශීතකළ ජල පානය ලෙඩ රෝග රැසකට අතවනයි.ශීතකරණ ජලයේ උෂ්ණත්වය පවතින්නේ සෙන්ටිග්‍රේඩ් 3-5ත් අතර මට්ටමේ. අධි උණුසුමේ සිට එකවර මෙතරම් සිසිලකට උෂ්ණත්වය වෙනස් වීම මුඛයේ සහ ගලනාලයේ සියුම් පටල වලට උසුලා ගැනීමට අපහසුයි. අඩු කාලයකින් සිදුවන උෂ්ණත්ව වෙනස මේ ශෛල මතුපිට බිඳ වැටීමට හේතු වීමෙන් පසු කාලිනව රස හඳුනා ගැනීමේ වෙනස්කම් හෝ උගුරේ සහ ගලනාලයේ රෝගාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා.

උදාහරණයකට උතුරන ජලය වීදුරුවකට දැමු විට වීදුරුව පුපුරා යාම ගන්න පුළුවන්. නැතිනම් ශිත කාලයේ උෂ්ණත්වය අඩු වීම නිසා බටහිර රටවල ජල නල පුපුරා යාම ගන්නත් පුළුවන්. ගමේ ගෙදර කළේ වතුරත් සීතලයි. නමුත් හරිම සෞම්‍ය සීතලක්. ගබඩා කර පැය කීපයකින් ස්වභාවිකව මැටි කළයේ ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 10ක පමණ සිරුරට හිතකර සෞම්‍ය උෂ්ණත්වයකට පත් වෙනවා. ඒ නිසා මැටි කළයේ හෝ ගුරුලේත්තුවේ ජලයෙන් මේ අනවශ්‍ය සෞඛ්‍ය ගැටළු වල අවධානය ඇති වෙන්නේ නැහැ. විදුලි බලය අනවශ්‍ය නිසා නිසා මුදල් පසුම්බියටත් හිතකරයි. පානිය ජලය ලබාගන්නා ස්ථානය අනුව ජලයේ ඇති ආම්ලික බවේ වෙනස් කම් වෙන්නත් පුළුවන්. ජලය ලබා ගන්නා පොලවේ ඇති අධි ආම්ලික ලවණ මේ සඳහා උදාහරණයකට ගන්න පුළුවන්. ආම්ලික ජලය සිරුරේ අම්ල භාෂ්ම සමතුලිතතාවය බිඳ වැටීමට හේතු වෙනවා. මෙය විවිධ රෝගාබාධයන්ට හේතු වෙන කරුණක්.

නිදසුන් ලෙස අමාශයේ අම්ල භෂ්ම සමතුලිත භාවය බිඳ වැටීමෙන් ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝගය හඳුන්වන්න පුළුවන්. ගබඩා කරන පානිය ජලයේ ආම්ලික බව නසන භාශ්මිකරණ ගුණයක් මැටි කළයේ අඩංගුයි. කුඩා කාලයේ කවදාවත් මේවගේ ලෙඩ රෝග අහන්න දකින්න නොලැබුණේ මේ හින්දා වෙන්න ඇති කියලයි මට නම් හිතන්නේ.

මැටි කළයක් භාවිතයේදී ඇති අවාසි ලෙස ගැනීමට වෙන්නේ පහසුවෙන් බිඳී යාම නිසා නිතර අලු‍තින් මිලට ගැනීමට වීම. නමුත් පාරිසරික සහ සෞඛ්‍යමය වාසි සලකා බලන විට ඒ කුඩා අවාසිය නොගැනීය හැකි තරම්. පොලවේ මැට්ටෙන් සැදුනු මැටි කළය පහසුවෙන් නැවත මැටි බවට පත් වුනත් එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් බෑගයක් දිරා යාමට වසර 450ක් පමණත්, බෝතලයක් දිරා යාමට වසර 1000 ක් පමණ කාලයකුත් ගතවිය හැකි බව ගණන් බලා තිබෙනවා.මැටි බඳුනක ඇති අනෙක් අවාසිය එමඟින් කුඩා ප්‍රතිශතයකින් අවම හානිකර මට්ටමේ බැක්ටීරියා ජලයට එකතු වීමේ හැකියාවයි. නමුත් මෙය අවාසියක් ලෙස නොගැනිය යුත්තේ එය ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හේතු වන නිසා. නිතර සෝදා පිරිසිඳුව පවත්වා ගැනීමෙන් මේ හානිය අවම කර ප්‍රතිශක්තිය වඩවා ගැනීමට අතීතයේ ගෘහනියන් සමත් වුනා.

ඒ කාලේ අත්තම්මලා සතියකට දෙතුන් වතාවක් කපා ගත් පොල් ලෙල්ලකින් කළයේ පතුල මැද සෝදා, එය අව්වේ වියලා පසුව දර ලිපේ අඟු‍රු උඩ මුනින් නවා පැය ගානක් පතුල පිළිස්සෙන්න හරිනවා. ඒ නිසා කළේ වතුර හැමදාටම ”නැවුම් රසයෙන්” සිසිලෙන් සහ පිරිසිඳු බවෙන් ඉහලව පැවතුනා. ඒ වතුර බීපු ගමේ කාටත් අද වගේ හේතුවක්වත් හොයාගන්න බැරි ලෙඩ රෝග තිබුනෙත් නැහැ. ආපහු හැරිලා අතීතෙට යන්න තියෙන හේතු කාරණා නිමක් නැහැ. නගරබද නල ජලයේ අඩංගු ක්ලෝරීන් නිසා ඇති වන විවිධ සෞඛ්‍ය ගැටළු අවම කරගන්නත් මැටි බඳුනට පුළුවන්.

ප්‍රවීන සූපවේදි ප්‍රසන්න දසනායක

සටහන චාපා හංසිනි ආටිගල