free stats

කාන්තාවන්ගෙන් බහුතරයක් ගර්භණී සමයේදී ඍණාත්මක ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරනවා. උදෑසන අසනීප, මනෝභාවය වෙනස් වීම, අජීර්ණ, තෙහෙට්ටුව, ගඳ සුවඳ දැනීම වැඩිවීම සහ කෙණ්ඩා පෙරලීම වැනි අමාරුකම් ගැන බොහෝ දෙනා කතා කළත් ගැබ්ගැනීමේ වාසිදායක තත්ත්ව ගැන කතා කරන්නේ නැහැ. දෙවන හා තෙවන ත්‍රෛමාසික කාලය තුළ කාන්තාවන්ට ඉතා ජවසම්පන්න සහ ධනාත්මක හැඟීමක් ඇති වන බව සොයා ගෙන තියෙනවා.

ඔයාට ගැබ්ගැනීමෙන් වර්ධනය වෙන අතිරේක හෝමෝන දරුවාගේ වර්ධනය දිරිගන්වනවා පමණක් නොව, ඔයාගේ යහපැවැත්මටද බලපානවා. ඇතැම් හෝමෝන වලට ගර්භණී සමයේදී හා පසුව ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැක. ඒ විතරක් නෙමෙයි දරු ප්‍රසූතිය සහ මව්කිරි දීමෙන් ඔයාට සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ ලැබෙනව.

ගැබ් ගැනීම අස්ථි ශක්තිමත් කරයි

ගර්භණී කාන්තාවන් සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩිපුර කැල්සියම් අවශෝෂණය කර ගන්නවා. විශේෂයෙන් තුන්වන ත්‍රෛමාසික කාලය තුළ වැඩෙන ළදරුවාගේ කැල්සියම් අවශ්‍යතාවය නිසා මවට ද ප්‍රමාණවත් කැල්සියම් සැපයුමක් ලැබෙනවා. කාන්තාවකගේ ගැබ් ගැනීම් වාර ගණන මවගේ අස්ථි ඝණත්වයට බලපානවා. ගැබ් ගැනීම් ගණන වැඩි වන විට, අස්ථි ඝණත්වය වඩා හොඳ වන අතර අස්ථි බිඳීමේ අවදානම අඩු කරයි.

පිරිසිදු ජීවන රටාවකට හුරු වෙනවා

ගර්භණීභාවයෙදී ඔයා පරිභෝජනය කරන දේ සහ ක්‍රියාවන් පිළිබඳවද ඔයා සැළකිලිමත් වෙනවා. මවක් තම දරුවට ඇති ආදරය නිසා දුම්පානය කරන අය අතර ගැවසීම හෝ තමන් දුම් පානය කරනවා නම් ඒවායින් ඈත්වෙනව. ඒවගේම ඔයාට මත්පැන් පානය කරනවා නම් ඒවා නතර කරනව. ඔයාගේ දරුවා ගර්භාෂයේ සිටම නිසි ලෙස රැකබලා ගැනීමේ අදහසින් තව මාස ගණනක් සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නවා. එය දිගු කාලීනව ඔයාගේ ශරීරයට යහපතක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර එකතු කර ගැනීම තම කෑම වේලට එක් කරගැනීම ඔයා ඉබේම පුරුද්දක් කරගන්නව.

වෙන කවරදාටත් වඩා ශක්තිමත්

බොහෝ කාන්තාවන් ගැබ් ගැනීමට පෙර නිතිපතා ව්‍යායාම කරන්නේ නැහැ. කොහොම වුණත් ඔවුන් ගැබ් ගත් පසු, කාන්තාවන් නිතරම සෞඛය ගැන සිතනවා. ඔවුන් නිතිපතා යෝග හෝ ප්‍රසව ව්‍යායාම කරන්න සුදානම් වෙනවා. දරුවා ලැබීමෙන් පසු, බොහෝ ගර්භණී කාන්තාවන් මෙම සෞඛ්‍ය සම්පන්න ජීවන රටා තේරීම දිගටම කරගෙන යන අතර, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම නිරෝගීව සිටීමට මේවා උපකාරී වෙනාවා.

සන්සුන් හා ධනාත්මකයි

ගර්භණී සමයේදී මනෝභාවය වෙනස් වීමක් වුවද ඒවාද තාවකාලිකයි. බොහෝ විට, ඉක්මණින් කලබලෙන් කළයුතු කාර්‍යයන් තව දුරටත් නැති නිසා ඔයා සැහැල්ලු‍වෙන් සිටිනව. සමහරු ඔයාගේ එදිනෙදා කාර්යයන් කිරීමට උදව් ලබා දෙනව, වැඩ ටික අතපසු වුවහොත් කල් දැමීමට ඔයාට හොඳ හේතුවක් තියෙනවා. ඔයාගෙ මනෝභාවයන් සතුටින් තියන හෝමෝන ඔයාට ගැබ්ගැනීමෙන්ම ලැබෙනව.

ගැබ්ගැනීමේ දීප්තිය

ගර්භණී සමයේදී සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වල යෙදීමෙන් ඔයාගේ හිසකෙස් හා සමට හිතකරයි. ඔයාගේ සම දිලිසෙනවා, මේ කාලයේ ඔයාට දීප්තිමත් සමක් ලබාගන්න පුළුවන්. ඔයාගේ නියපොතු ද ශක්තිමත් වෙනවා.

හිසකෙස්

බොහෝ ගර්භණී කාන්තාවන් ගර්භණී සමයේදී හෝමෝන වෙනස්කම් නිසා කිසිදු හිසකෙස් වැටීමක් අත්විඳින්නේ නැහැ. මේ කාලයේදී ඔවුන්ට ඝණ සහ දිලිසෙන හිසකෙස් තිබිය හැක. දරු ප්‍රසූතියෙන් පසු ඔයාගේ හිසකෙස් ටිකක් වැටුණත් මාස කිහිපයකින් හිසකෙස් යථා තත්ත්වයට පත් වෙනව.

ඔසප් වීමෙන් නිදහස්

ඔයාට සෑම මසකම ඇති වූ දරුණු ඔසප් කැක්කුම මතකද? අවම වශයෙන් ඉදිරි මාස නවය හෝ ඊට වැඩි කාලයක් ඔසප් වීම අත්විඳීමට අවශ්‍ය නැහැ. දරු ප්‍රසුතියේදී ඇති වන කැක්කුම් සහ වේදනාවන් ඉක්මණින් නැති වන අතර ගැබ්ගත් කාලය අතරතුර ඔසප් වීම සිදු වෙන්නේ නැහැ.

සටහන චාපා හංසිනි ආටිගල

අන්තර්ජාලයෙන්