සිගාලෝවාද සූත්‍රයේ දෙමාපියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් දෙමාපියන්ටත් විය යුතුකම් ආදී වශයෙන් යහපත් සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වන කරුණු කාරණා සාකච්ඡා වෙනවා. මෙහිදී දෙමාපින්ගෙන් දරුවන්ට විය යුතු යුතුකමක් ලෙස ගුණධර්ම ඉගැන්වීම් දක්වනවා. මේ ගුණධර්ම ඉගැන්වීමට දරුවෙක් දැනුම් තේරුම් වයසට එනකම් ඉන්නම අවශ්‍ය නෑ. මවකට පියෙකුට පුළුවන් දරුවෙක් මව්කුස තුළ සිටින කාලයේ පටන් මේ ඉගැන්වීම කරන්න. මේ කාරණය කියන විට මට මගේ පෞද්ගලික අත්දැකීමක් මතකයට එනවා.
මගේ හිතවත් යුවලක් සිටියා ඔවුන්ට දරුවෙක් පිළිසිඳ ගත් අවස්ථාවේ මම ඔවුන්ට ගාථාවක් දුන්නා හැම දවසකම කියන්න. ඒ විතරක් නෙවෙයි. සත්‍ය ක්‍රියාවක් කරන්නත් කියා දුන්නා. එනම් මගෙ දරුවා ගුණ යහපත් කීකරු දරුවෙක් වෙන්න ආදී වශයෙන්.
මේ දරුවා ඉපදී අවුරුදු තුන හතරකට පස්සේ දවසක මම ඒ ගාථාව කියද්දී ඒ කරා ආ දරුවාත් එය කියන්න පටන් ගත්තා මා සමඟම. ඒ දෙමාපියන් දරුවා ඉපදුනාට පස්සේ ඒ ගාථාව කියා නෑ. ඒ කියන්නෙ දරුවෙක් ඉගෙන ගන්නෙ බහ තෝරන කාලෙ සිටි හෝ දැනුම් තේරුම් වයසට ආවට පස්සෙ නොවෙයි. කුස තුළ සිටින කාලයේ පටන් දරුවෙක් ඉගෙන ගන්නවා. කුස තුළ සිටින කාලයේදීත් දරුවන්ට ඇහෙනවා. විදිනවා.
අනෙක් කාරණය තමා නැන්දම්මා ලේලි ගැටුම බොහෝමයකට තියෙන ප්‍රශ්නයක්. මේ කාරණයේ දී ලේලිලා බොහෝම බුද්ධිමත් වෙන්න ඕනෑ. වෙනස් වෙනස් පරිසර වල හැඳුනු වැඩුනු යුග දෙකක් නියෝජනය කරන වෙනස් චරිත දෙකක් නේ පොඩි පොඩි ගැටීම් ඇතිවෙන්න පුළුවන්. ඒත් මේ අවස්ථාවල දී ලේලිලා බොහෝම ඉවසිලිවන්ත විය යුතුය. ලේලිලාගේ වගකීම තමයි තිබිය යුත්තේ. ප්‍රශ්න ඇති වුණත් කේන්ති නොගත යුතුයි. කේන්ති ගැනීම නරක ලක්ෂණයක්. දරුවෙක් මව් කුස තුළ සිටියදී කේන්තිගත් මවරුන්ගේ දරුවන් පසුකාලීනව මව පියා නොසලකා හරින තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා පරිසරය කෙතරම් කටුක වුවත් මවගේ සිතිවිලි ගුණයහපත් විය යුතුයි. එක කණකින් අහන දේ අනෙක් කණින් පිටකල යුතුයි. ගැටළු මතුවෙන්නේ ඒවා සමඟ ගැටෙන්න ගියාමයි.
කිසිම මවක් කැමති නෑනේ තමන්ගේ දරුවා අඩුපාඩු සහිත දරුවෙක් වී ඉපදෙනවාට මේක මව්වරු පියවරු සිතන්න ඕනෑ කරණයක්. එනම් තමන් අවට වටපිටාව මව්කුස තුළ සිටින දරුවෙකුට ග්‍රහණය වෙන බව.
ඉස්සර ගම්වල සිරිතක් තිබුණා මව්වරු දෙවරක් පන්සිල් ගන්නවා. ඒ කුස තුළ සිටින දරුවා වෙනුවෙනුයි. මේ අපේ සම්ප්රදාය. මේ සම්ප්රදාය තුළ බොහොම වටිනා සිරිත් විරිත් තිබුණා. කළලයක් තුළට විඥානයක් පිවිසුනාම අම්මා කරන කියන හිතන දේ දරුවාට දැනෙනවා. ඒ නිසයි හිත සැහැල්ලුවෙන් තබා ගන්න උත්සාහ කළ යුත්තේ.
අපේ ජීවිතයේදී අපට විවිධ අත්දැකිම්වලට මුහුණපාන්න සිදුවෙනවා. දුක සතුට සැප තරහව අලාභය ආදී නොයෙක් තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. නමුත් මේ කිසිවක් අසලට තරහ නොගෙන ආවේගශීලී නොවී ඉවසිලිවන්තව සතුටු සිතින් දරාගන්න පුළුවන් නම් එය තමයි ජයග්‍රහණය.
අපේ සමාජය විශ්වාස කරන කාරණයක් තමයි දරුවන්ට හොඳ නරක කියලා දෙන්න ඕනෑ ලොකු වුණාම කියලයි. නමුත් කලයක් පිරුණට පස්සෙ ආයෙ වතුර දාන්න බෑ. ඒ වාගෙ ළමයි ලෝකයෙන් යම් යම් දේ අරගෙන මනස පුරවා ගත්තාට පසු නැවත පුරවන එක දුෂ්කරයි. ඒ නිසා නොතේරෙන කාලයේ පටන් ගුණධර්ම කියා දිය යුතුයි. හරි දේ වැරදි දේ ඉගැන්විය යුතුයි. අම්මලා දරුවන්ව කුසේ දරාගෙන වැරදි දේ කරනවා නම් දරුවන් උපතේ සිටම සමාජයට නොරුස්නා දරුවෙක් වීමේ ඉඩකඩ වැඩියි.
අද අපි දොස් කියනවා අලුත් පරම්පරාව ගුණ යහපත කම් වලින් තොරයි කියලා නමුත් ඒක එහෙම වෙලා තියෙන්නෙ ළමයින්ගෙ වැරදි නිසා නොවෙයි. දෙමාපියන්ගෙ වැරදි නිසයි.
අපි පයගහලා ඉන්නේ මොනතරම් නරක ලෝකයක වුවත් මව පියා ගුණ යහපත් නම්, නිවැරදි නම් මඩගොහොරුවෙන් මතු වුණු මඩේ නොගැටී පවතින නෙළුමක් වාගේ ළමයින් බබලනවා. ඒනිසා ගැබිනි මව්වරු තේරුම් ගත යුතුයි. තමන් දරුවකු කුසේ දරාගෙන වැරදි කරනවා නම් ඒවා දරුවාට බලපාන බව සමහර මව්වරු හිතනවා තමන් කරන වැරදි ලෝකයට පේන්නේ නෑ නෙ කියලා ලෝකයට නොපෙනුනාට මවගේ හිත දන්නවා. ඒ කාරණය කුස තුළ වැඩෙන දරුවාටත් දැනෙනවා.
යහපත් පිංවත් නිරෝගී දරුවෙක් මෙළොවට දායාද කරන්න හිතන මවක් මාසයකට වරක් දෙවරක් හෝ අඩුම තරමින් බෝධිපූජාවක් කරනවානම් එය ඉතා හොඳයි. ඒවාගේම නිරන්තරව මෛත්‍රිය වඩන්න හිත පුහුණු කරනවා නම් ඒකත් මවටත් දරුවාටත් පුදුම සුවයක් ගෙන එනවා.
තවත් වැදගත් කාරණයක් තමයි නිවැරදි කල්පනාව එළඹ සිටි සිහියෙන් යුතු වීම. මේ සිහිය පිහිටුවා ගැනිම සඳහා ආනාපාන සති භාවනාවක් වැනි දෙයක් පුහුණු කරන්න පුළුවන්නම් ඉතා හොඳයි.
අපි කතාවටත් කියනවනෙ “පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු” කියලා. ඉන්න තැන ගැන සතුටුවෙන්න බෑ. මොකද අද අම්මලා තාත්තලා උත්සාහ කරන්නෙ “නැණ” විතරක් තියෙන දරුවෝ හදන්නයි. “ගුණ” නැති “නැනෙන්” වැඩක් නෑ. දරුවෙක් උගතෙක් නොවුනාට කමක් නෑ. ගුණවත්කම තියනව නම්. මොකද ගුණවත් කම නැති උගත් කම තමයි අද වන විට සොබාදහමට මානව වර්ගයාට සත්වයාට පවා එරෙහි ක්‍රියාමාර්ග වලට නැඹුරු වෙලා තියෙන්නෙ.
ගුණ නැති මිනිස්සු තමයි ඉවක් බවක් නැතිව ගහකොල පවා විනාශ කරමින් අවි ආයුධ ගනිමින් යුධ ගැටුම් නිර්මාණය කරමින් ලෝකය අමිහිරි තැනක් බවට පත් කරලා තියෙන්නෙ.
සොබාදහමට සමාජයට හානි වන දේ ගුණ තියෙන මිනිස්සු කරන්නෙ නෑ. බුදුන් වහන්සේ නොකළ යුතු වෙළෙඳාම් පහක් හදුන්වා දෙනවා. ඒවා තෝරා ගන්නේ ගුණ නැති මිනිසුන්.
ඒවාගේම විවාහක යුවලක් සම්බන්ධ දෙමාපියන්ගේ කාර්යයභාරයකුත් තියෙනවා. දරුවෙක් විවාහ වූ පසු තමන්ගෙ ග්රහණයෙන් උපාදානයන් අත්හැරිය යුතුයි. අද බොහෝ විවාහ අසාර්ථක වන්නේ මේ මම හදපු වඩපු දරුවා කියලා ග්‍රහණය කරගන්න ගියාමයි. එකෙන් දෙමාපියන් දුකට පත් වෙනවා. දරුවෝ අසරණ වෙනවා. එය උපදින දරුවකුගේ පෞරුෂයට චින්තනයට කරන බලපෑමත් ඉතා නරකයි. ඒ නිසා මේ සියළු කරුණු කාරණා ගැන නිදහස්වත් අවබෝධයෙනුත් කල්පනා කරන්න අපි උත්සාහ කරනවා නම හොඳ වට පිටාවක් ගොඩ නඟා ගන්න පහසුයි.
සටහන ප්‍රියංගා කුමාරි ජයකොඩි.