free stats

වමනය කියන්නේ ලොකු කුඩා කොයි කවුරුත් අපහසුතාවයට වේදනාවට වගේම ආතතියට පත්කරන සිදුවීමක්. වැඩිහිටියන්ට වගේම පුංචි පැටවුන්ටත් වමනය ඇති වෙනවා. නමුත් මේ fවිදනාව පැටවුන්ට දරාගන්න අමාරුයි. ඒ නිසාම අම්මලත් අපහසුතාවයට පත්වෙනවා. සමහරවිට පැටියාට ගමනක් යන විට ඒ වගේම ගෙදර ඉන්න වෙලාවෙදි වුණත් වමනය ඇතිවන්න පුළුවන්. ඒ නිසා වමනය ඇතිවෙන්න බලපාන හේතුව මොකද්ද මේ සඳහා විසඳුමක් හෝ ප්‍රතිකාරයක් තියෙනව ද කියන කාරණා පිළිබඳව අපි කතාබහ කළ යුතුයි. ඒ වගේම පුංචිම බබෙකුට වමනය ගියාම අපි කොහොමද ඒ මොහොතේදි පැටියාට ප්‍රතිකාර ලබා දෙන්නේ කියන කාරණය පිළිබඳවත් අවධානයෙන් සිටිය යුතුයි.

මෙහිදි මුලින්ම අවධානය යොමු කළ යුත්තේ පැටියාට වමනය ඇතිවීමට හේතු විය හැකි ප්‍රධානම කාරණා පිළිබඳවයි.

ආසාදන තත්ත්වයන්
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන්.
සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි සෙම් ආශ්‍රිත රෝගාබාධ.
මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආසාදන.
කණ ආශ්‍රිතව ඇතිවන ආසාදන.
වෛරස් ආශ්‍රිතව ඇතිවන ආසාදන.

හේතුවෙන් වමනය ඇතිවනවා.

කුඩාම ළඳරුවන් හට මව්කිරි දීමෙන් අනතුරුව ගුඩුස් නොයැවීමෙන් ඇතිවන වමනය
ගැස්ට්‍රයිටිස් ඇති වීම.
අභ්‍යන්තර රුධිර වහනයක ප්‍රතිපලයක් ලෙසින් වමනය ඇති වීම.
ලබා දෙනු ලබන ඖෂධවල අතුරු ආබාධයක් ලෙසින්.
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන උපත් ආබාධ තත්ත්වයන් (දුර්ලභ අවස්ථාවකි).

බොහෝ රෝගයන් හි ලක්‍ෂණයක් ලෙසින් ඇති වන වමනය යාම ආසාදන තත්ත්වයන් තුළදී බහුලව ඇති වෙන්න පුළුවන්. පුංචි පැටියෙක්ට මේ විදියට අහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ආසාදන තත්ත්වනයක් ඇතිවුවහොත් එය අජීරණ තත්ත්වයක් නම් පැය 12 ක් 14 ක් වගේ කාලයක් වමනය යාමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙහි තවත් ලක්‍ෂණයක් ලෙස බඩේ වේදනාව මෙන්ම පාචනය ඇතිවිය හැකියි.

සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි තත්ත්වයන් හේතුවෙන් ද වමනය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන් නොනවත්වා හැඩීම නිසා ත් වමනය ඇතිවන අවස්ථා තිබෙනවා. මුත්‍රා ආසාදන තත්ත්වයන් වගේම කනේ ඇතිවන ආසාදන තත්ත්වයන්හි අතුරු ප්‍රථීපලයක් නිසාත් වමනය ඇතිවන බවත් වෛද්‍යවරුන් පවසනවා. කුඩා දරුවන්ට මේ විදියට වමනය ඇතිවන තවත් අවස්ථාවක් ලෙස වෛරස් ආසාදන නිසා ඇතිවන උණත් පෙන්වා දිය හැකියි.

පුංචිම ළඳරුවන් හට මව්කිරි දීමෙන් අනතුරුව නිවැරදිව වාතය පිටනොවීම නිසා වමනය ඇතිවනවා. දරුවෙක් ඉපදීමෙන් අනතුරුව මව්කිරි දීම පිළිබඳව මව දැනුවත් කරන වෛද්‍යවරයා මෙන්ම හෙදිය පවසන ආකාරයට දරුවාට මව් කිරි පෙවීමෙන් අනතුරුව ගුඩුස් යැවීම කළ යුතුයි. එසේත් නැතිනම් උගුරේ හුළං සිරවීම වැනි තත්ත්වයක් නිසා දරුවාට වමනය ඇතිවනවා. මේ නිසා කිරි පෙවීමෙන් අනතුරුව දරුවාට ගුඩුස් යැවීම අනිවාර්යයෙන්ම කළ යුතු වනවා. එයින් දරුවාට කිරි සිරවීම වැනි අනතුරු සිදුවන්නෙත් නැහැ.

ඒ වගේම පොඩිත්තන් ගැන අවධානයෙන් සිටිය යුතු තවත් අවස්ථාවක් විදියට අනතුරු හඳුන්වන්න පුළුවන්. මොකද මේ අය දඟකාරයෝ. ඒ නිසාම පුංචි පුංචි අනතුරු වගේම ලොකු අනතුරු කරගන්නත් පැටවුන්ට මහ වෙලාවක් යන්නේ නැහැ. අන්න ඒ නිසා මෙවැනි අනතුරක් සිදුවූ පසුව පැටියා වමනය කළහොත් එයින් අදහස් වන්නේ පැටියාගේ හිසට, උදරයට හෝ වෙනත් සුවිශේෂි අවයවයකට හානි සිදු වී ඇති බවයි. ඒ වගේම අභ්‍යන්තර රුධිර වහණය නිසාත් මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්. මීට අමතරව දරුවන් වෙත ලබා දෙන අතිරේක ඖෂධ නිසාත් වමනය ඇතිවීමේ අවධානමක් පවතිනවා. මෙවැනි සුලබ කාරණා හේතුවෙන් වමනය ඇති වීම සිදුවන අතර ඉතාම දුලභ කාරණාවක් වන ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන උපත් ආබාධ නිසා එනම් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්වයන් නිසා වමනය ඇතිවනවා. කපාට වල ඇතිවන තත්ත්වයන් ද මේ යටතට ගන්න පුළුවන්.

මේ කවර ආකාරයකින් වමනය ඇති වුණත් වමනය සඳහා හේතුවන කාරණා දැන සිටීම ඉතාමත් වැදගත් වනවා. දරුවන්ට ඇතිවන අපහසුකම් වැඩිහිටියන්ට මෙන් පැහැදිලි කරන්නට අවබෝධයක් නැති නිසා වැඩිහිටියන් ඒ පිළිබඳව අවදානයෙන් සිටීම කළ යුතුයි. එයට හේතුව අනතුරක් සිදුවීමට ඇති කාලය තත්ත්පර ගණනක් වෙන්නට පුළුවන් නිසායි. මෙවැනි අවස්ථාවක දී දෙමව්පියන් කලබල නොවී කළ යුතු හොඳම ප්‍රතිකාරය සඳහා සිය මනස සකසා ගතයුතුයි. ඒ වගේම නිවසේ දි කළ යුතු හදිසි ප්‍රතිකාර පිළිබඳව අවබෝධය ලබාගැනීම ද වැදගත් වනවා.

මෙහිදි අදාල හේතුව මත ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් කරුණක්. ඔබ දන්නා සෑම ප්‍රතිකාරයක්ම සෑම අවස්ථාවකම සුදුසු වන්නේ නැහැ. විශේෂයෙන්ම මාස හයට අඩු දරුවන්ට වමනය ඇති වූ අවස්ථාවක දී ජලය මදි වීම නිසා එන විජලනයට ගොඳුරු වේ දැයි යන්න විමසා බැලීම වැදගත් වනවා. මේ කාලයේ දරුවාට ලබා දෙන්නේ මව්කිරි පමණක් නිසා මව්කිරි වෙනුවට වෙනත් යමක් ආදේශ කිරීම සුදුසු වන්නේ නැහැ. නමුත් මව්කිරි වෙනුවට දරුවාට ස්වල්පය බැඟින් ජලය ලබා දීම සුදුසයි. මව්කිරි ලබා දීම සිදු නොවේ නම් අත්‍යාවශ්‍ය ඛණිජ ද්‍රව්‍ය සීනී, ලුණු අඩංගු ජීවනි පැකැට්ටුවක් නිවැරදි මාත්‍රාව අනුව පානය කරවීම ද සුදුසු වනවා.

පැටියා ගේ වමනයට හේතු වන කරුණ සාමාන්‍ය එකක් නම් බිය වීමට අවශ්‍ය වන්නේ නැහැ. එවන් අවස්ථාවක දී නිවසේ දි තත්ත්වය පාලනය කරන්නට පුළුවන්. නමුත් පැටවුන්ට ඇතිවන වමනය නිසා පෙනහළු වෙත වමනය හෝ ජලය ගමන් කිරීමෙන් හුස්ම සිරවීමට ඇති අවධානම පිළිබඳව ඔබට අවබෝධය තිබිය යුතුයි. වමනයත් සමඟ එන වෙලනත් අවධානම් අවස්ථා හෝ අසාමාන්‍යතා දරුවා තුළින් මතු වේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය වනවා. මේ අනුව,

යම් යම් ආහාර ද්‍රව්‍යයන් ආහාරයට ගැනීමෙන් අනතුරුව දරුවා වමනය කරයි නම්,
වමනය සමඟ රුධිරය පිට වේ නම්,
වමනය පැය 24 පුරාම නොනවත්වා ඇති වේ නම්,
දරුවා විජලනයට ලක් වී සිටියි නම්, (මුත්‍රා පිට නොකිරීම, දැඩි පිපාසයෙන් යුතු වීම, වියළි තොල් සහ මුඛය, හැඬීමේ දි කඳුළු පිටනොවීම, මලානික බව සහ තද පැහැයෙන් යුතුව මුත්‍රා පිටවීම)

විශේෂයෙන්ම මෙහිදි වැදගත් කාරණයක් ලෙසින් පුංචි දරුවන් වැටීම නිසා ඇතිවන වමනය හැඳින්විය හැකියි. බාහිරින් කිසිඳු බලපෑමක් පෙන්නුම් නොකරමින් ඇතිවන වමනය අභ්‍යන්තර අනතුරක එහෙමත් නැත්නම් අභ්‍යන්තරව සිදුවන මොළයේ අනතුරක ප්‍රතිපලයක් වන්නට පුළුවන් බව මතක තබාගන්න. මේ නිසා එවන් අවස්ථාවක හැකි ඉක්මනින් වෛi ප්‍රතිකාර සඳහා යොමුවන්න.

සටහන නදීශා ගයානි

උපදෙස් වෛද්‍ය ඩී.බී. නායකරත්න
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය