free stats

මව් පදවිය කියන්නේ කාන්තාවක් තමන්ගේ ජීවිතයේ ලබන උතුම් ත්‍යාගයක්. ඒ ත්‍යාගය ලබන්න, මවක් වෙන්න ඇයට දිනයක් වසරක් හෝ සුවිශේෂි කාලයක් නැහැ. නමුත් වෛද්‍ය මතය අනුව මවක් වෙන්න නියමිත වයසක් තිබෙනවා. මවක් වීමට හීන දකින ඕනෑම කෙනෙක් ඒ පිළිබඳව අවබෝධයෙන් සීටීම ඉතාම වැදගත්. ඒ වගේමයි පුංචි පැටියෙක් කුස තුළ සිටිනවා කියන්නේ සමහර තත්ත්වයන් වලදි ලොකු අවධානමක් වෙන්නත් පු`ඵවන්. මේ නිසාම වයස් බේදයකින් තොරව ඒ පිළිබඳව දැනුවත් වීම කියන කාරණය ඉතාම වැදගත් වෙනවා.

අද වෙනකොට විවිධ හේතු නිසා පවුල් සංස්ථාව තුළ දරුවන් බිහිකිරීමේදී තරමක් වයසින් වැඩි දෙමාපියන් සිටින ආකාරයක් දැකිය හැකියි. විශේෂයෙන් ම අවුරුදු 30 – 35 අතර සහ 35 න් වැඩි කාන්තාවන් දරුවන් බිහි කිරීම සුලභ කාරණයක් බවට පත් ව තියෙනවා. මේ නිසාම 35 න් පසු ගැබ් ගැනීමකදී ඒ පිළිබඳව නිසි අවබෝධයකින් සිටීම අද දවසේ වැදගත් කාරණයක් විදියට සළකන්න පුඵවන් .

පුංචි පැටියෙක් කියන්නේ කොයි වයසක හිටියත් විවාහයට පත් නව යුවලකට තිබෙන ඊලඟ බලාපොරොත්තුව. පොදු සමාජ මතය විදියට සලකනු ලැබුවහොත් දරුවන් බිහි කිරීමට සුදුසුම වයස විදියට සළකන්නේ 24 -25 අතර කාලයයි. නමුත් වෛද්‍ය මතය අනුව 20- 30 අතර කාලය දරුවන් බිහි කිරීමට සුදුසු කාලයක් විදියට සලකන්න පුඵවන්. ඊට වැඩි වයස් සීමාව දරුවන් බිහිකිරීමේදි ඇතිවන යම් යම් සංකූලතා වැඩි වශයෙන් ඇති විය හැකි වයස් සීමාවක් විදියට සළකනවා. එහෙත් එය කිසිසේත් දරුවන් පිළිසිඳ ගැනීමට නුසුදුසුම වයසක් ලෙස නිශ්චිතව පවසන්නේ නැහැ.

35න් පසු වයස් සීමාව යනු යම් ආකාරයක තරුණ වයස් සීමාව පසු කරන ලද වයස් සීමාවක් වෙනවා. මේ නිසාම සාමාන්‍ය තරුණ වයසේදී ඇති නොවිය හැකි තත්ත්වයක් මෙම වයස් තුළ ගැබ් ගැනීමේදී දැකිය හැකියි. එනම් යම් අවධානමක් පැවතිය හැකිය. වයස් ප්‍රමාණය වැඩි වත්ම ඇතිවිය හැකි බලපෑම්වල අවධානමද වැඩි විය හැකිය.

35න් පසු ගැබ් ගැනීමකින් ඇති විය හැකි එක් ලක්‍ෂණයක් ලෙස නිරෝගී දරුවකු බිහි කිරීමේ ප්‍රවණතාවයෙහි අඩු වීමක් දකින්න පුළුවන්. එය කිසිසේත් නිරෝගී දරුවකු බිහි නොවනවා කියන්න බැහැ. මන්ද නිසි වයස් සීමාව තුළ දරුවන් බිහි කරන කාන්තාවකට වුවද නිරෝගී කමින් අඩු දරුවන් බිහි විය හැකිය. මෙහිදී දැනුවත් විය යුතු කාරණය වෙන්නේ වයස වැඩි වත්ම මෙම සියඵ කාරණාවන්හි පවතින අවධානම වැඩි බවයි. එමෙන්ම මෙම නිරෝගී කමින් අඩු දරුවන් යන්න පැහැදිලිව දැක්වුවහොත් සෙමින් මනස වැඩෙන දරුවන් බිහි වීමේ අවධානමක් පවතී. සාමාන්‍යයෙන් මෙවැනි දරුවකු ලැබීමේ සම්භාවිතාව වයස අවු 20 වැඩි කාන්තාවන් දරුවන් බිහි කිරීමේ දී දරු උපත් 1000ට එකක් වශයෙන් දක්වන්න පුළුවන්. නමුත් මෙම තත්ත්වය 35න් පසු මව්වරුන් දරුවන් බිහි කිරීමේදී දරු උපත් 250 ට එකක් වශයෙන් ද 50 වැඩි මව්වරුන් දරුවන් බිහි කිරීමේදී එම අවධානම දරු උපත් 50 එකක් වශයෙන් පවතිනවා .

තවත් කරුණක් ලෙස සඳහන් කළහොත් ගබ්සා, මළදරු උපත්, වැනි අවධානම් සහගත අවස්ථා සඳහා මුහුණදිමට සිදුවන අවධානම ද වැඩි යි. එසේ වුවත් එය 35න් පසු දරුවන් බිහිනොකළ යුතුයි යන්න අර්ථවත් වන්නේ නැහැ. වැදගත් වන්නේ නිසි අවබෝධයකින් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ගැබ්ගැනීමකට සූදානම් වීම පමණයි.

බෝ නොවන රෝග සෑදීමේ අවධානම 35 න් පසු ගර්භණී මවකට තරමක් වැඩි වශයෙන් පවතී. එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධයන් ය. ගර්භණී කාන්තාවකට සෑදෙන දියවැඩියා තත්ත්වය සාමාන්‍යයෙන් දරු උපතෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් 35 න් පසු කාන්තාවක් ගර්භණී භාවයට පත් වීමත් එම කාලය තුළ බෝ නොවන රෝග සඳහා ගොදුරු වීමත් යන කරුණු වැඩි වශයෙන් සක්‍රීය විය හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මාතෘ මරණ ඇති විය හැකියි. එමෙන්ම දරුවන් නිසි ලෙස වර්ධනය නොවී අඩු කාල සීමාවකින් බිහි වීම ද සිදු විය හැකියි. මෙම දරුවන් අඩු බරින් යුක්ත දරුවන් වනවා. මෙවැනි දරුවන් පහසුවෙන් අවධානම් තත්ත්වයන් වලට රෝගාබාධයන්ට ගොඳුරු වීමට වැඩි ඉඩක් පවතිනවා.

කාන්තාවක වයසට පත් වීම යනු සාමාන්‍ය තරුණ කාන්තාවකගේ මෙන් පවතින නිරෝගී බව සරු භාවය අඩු වීමයි. මේ නිසාම සාමාන්‍ය තරුණ වයසක සිටින මවකට වඩා 35 න් පසු පමණ වයස් සීමාවක සිටින මවක් යනු සරු භාවයෙන් තරමක් අඩු කාන්තාවකි. මේ නිසාම මෙම වයස් සීමාවේ දී දරුවන් ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් එය අවබෝධයෙන් හා නිසි සූදානමකින් සිදු කිරීම වැදගත් වෙනවා. මෙහිදී සූදානම යනුවෙන් හඳුන්වනුයේ තමා හට යම් රෝගාබාධ තත්ත්වයන් පවතින්නේ නම් (දිය වැඩියාව, අධි රුධිර පීඩනය) ඒ සඳහා නිසි ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් රැගෙන ගර්භණී භාවයට පත් වීම යන්නයි. මෙහිදී වැදගත්ම කාරණය වනුයේ නිසි වෛද්‍ය උපදෙස් මත තමන් ගර්භණී භාවයට පත් වීම සඳහා සුදුසු තත්ත්වයක සිටින්නේ ද යන්න තීරණය කිරීමත්, ගර්භණී කාල සීමාව තුළත් දරුවා බිහි කරන තුරුත් නිසි අයුරින් සායන සඳහා සහභාගී වීමත් උපදෙස් පිළිපැදීමත් යන කරුණුයි.

එසේ වුවහොත් නිරෝගි දරු උපතක් මෙන්ම නිරෝගී ගර්භණී මවක් ද අපේක්‍ෂා කළ හැකිය.

සටහන- නදීශා ගයානි ගුණතිලක

 උපදෙස්- ඩී. බී නායක රත්න
 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලය