අප සමාජයේ මව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය ගැන දක්වන්නේ විශාල උනන්දුවකි. එය දරුවා මව්කුසයේ පිළිසිඳ ගන්නටත් පෙර පටන් ඇතිවෙන තරමට තත්ත්වය බරපතළය. හොඳ පාසැලකට දරුවා ඇතුළත් කිරීමට ගන්නා උත්සහයෙන් ඇරඹෙන මේ වෑයම උසස් පෙළ විභාගය තෙක් වෙහෙස නොබලා රැගෙන යයි. මේ වෑයම යහපත්ය . චේතනාව පිරිසිදුය. එනම් මාගේ දරුවා අනාගතයේ සමාජයටත් ඔහුටත් වැඩදායක පුරවැසියකු වේවා! යන ප්‍රාර්ථනා පෙර දැරිව සිදු කරන්නකි.
එහෙත් වරද ඇත්තේ මේ ක්‍රමවේදය හරහා දරුවන්ගේ ජීවිතවල අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු සමබරතාවය ගිලිහී යෑම පිලිබඳව මව්පියන්ට අවබෝධයක් නැතිවීමයි. දරුවකුට පෝෂ්‍යදායී ආහාර, නින්ද, ක්‍රීඩා, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ විවේකය ඔහුගේ පෞරුෂ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍යයය. සම වයස් කණ්ඩායම් සමග ගැවසීම, ක්‍රීඩා කිරීම තුළින් ඔහු ලබන ඉගෙනුම සහ කුසලතා ජීවිත කාලයටම අත්‍යාවශ්‍ය වන්නකි. නමුත් බොහෝ මව්පියන් දරුවන්ට කාටූන් නැරඹීමට ඉඩ සලස්වා අසල්වැසි දරුවන් සමග ගැවසීම වළක්වති. මෙය නොකළ යුතු ක්‍රියාවකි. වර්තමානයේ අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ කාටූන් සහ බහුතරයක් වීඩියෝ ක්‍රීඩා දරුවන්ගේ සදාචාර සහ ගුණාත්මක සංවර්ධනයට ඉතාම අහිතකර බලපෑම් එක්කරන බවයි. මෙම කාටූන් වල භාෂාව හසුරුවන ආකාරය වැඩෙන දරුවකුට සුදුසු නැත. එසේම සොරකම්, මංකොල්ල, යටිකූට්ටු වැඩ, වංචා, කපටිකම්, ආයුධ පරිහරණය, ඝාතන, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ආදී සියල්ල මෙම කාටූන්හි අඩංගුය.
මේ සියල්ල ලෝකය හඳුනාගනිමින් සිටින දරුවකුට නරඹන්නට ඉඩකඩ ලබා දෙන්නේ අපගේ මව්පියන් විසිනි. දරුවන් අසල්වැසි දරුවන් සමග ක්‍රීඩාකර අඩදබර වනු ඇතැයි, තුවාල කරගනු ඇතැයි සිතා දරුවාට සුදුසුම දේ මෙය යැයි සිතා ඇති තරම් කාටූන් නැරඹීමට ඉඩ දෙති. වයස දහයට අඩු දරුවකුට එකදිගට පැය භාගයකට වඩා රූපවාහිනී හෝ පරිගණක හෝ භාවිතා කිරීම ඔහුගේ ඇස්වල ආබාධ ඇතිවීමට හේතුවකි. ඊළඟ ප්‍රශ්නය එකම තැන වාඩිවී සිටීම නිසා දරුවාගේ මාංශපේශි දුර්වල වීමයි.
එසේම පාසැලේ පැය පහක් පමණ අධ්‍යාපනය ලබන දරුවා නිවසට පැමිණි විගස අමතර පංති යැවීම අද පළමු ශේණියේ සිටම සිදු වන්නකි. අමතර පංතියෙන් නිවසට පැමිණෙන දරුවාට පාසැලෙන් ටියුෂන් පංතියෙන් ලබාදෙන ගෙදර වැඩ කිරීමට සිදුවෙයි. අවසානයේ දිනකට දරුවා පැය දහයක පමණ කාලයක් අධ්‍යාපනය සදහා වැය කරයි. එයත් මදි යයි සිතන මේ මව්වරු සමාජයේ සිටිති.
මේ ආකාරයෙන් ජීවිතය සමබර නොවූ විට දරුවන්ගේ මානසික ක්‍රියාවලිය දුර්වල වෙයි. තෙහෙට්ටුවට පත්වෙයි. එවිට දරුවා නොරිස්සුම් සහගත වෙයි. ඉක්මනින් කෝපයට පත්වෙයි. ඔහුව වෙහෙසට පත් කරන අයගේ නියෝග නොතකා හරින්නට උත්සහ කරයි. එවිට මව්වරුන් කරනුයේ දරුවන්ට දඩුවම් කිරීමයි. අවසානයේ කුඩා කාලයේදීම අධ්‍යාපනයට වෛර කරන දරුවන් බිහි වෙයි. මව්වරු පෙන්නන්නට බැරි දරුවෝ මට අනන්තවත් හමුවෙයි.
පාඩම් කරන්න“
කියන එකම මන්තරය දරුවාට තිත්ත වන තරමට කියන අම්මලා
සෙල්ලම් කරන්න“
එන්න කතන්දරයක් කියා දෙන්න“
මේ ප්‍රහේලිකාව පුරවමු“
සිංදුවක් කියමු“
යන දරුවාගේ නිර්මාණශීලි කුසලතා නංවන දෙයක් කරන්නට අඬගසන්නේ නැති තරම්ය. අධ්‍යාපනය වින්දනයකින් යුතුව දරුවන්ට ලැබිය යුතුය . ගොරහැඩි ආකාරයෙන් රළු ආකාරයෙන් ලැබිය යුත්තක් නොවේ.
මව්පියන් වටහා ගත යුතු දෙය නම් ඔබ දරුවා වෙතින් අනාගතයේ අපේක්ෂා කරන වැඩිහිටියා දකින්නට නම් ඔබ ආදර්ශයෙන් ඒ ගුණ ඔහුට පෙන්විය යුතු බවයි. එසේම අනාගත සමාජයේදී ඔහුට මුහුණ දෙන්නට සිදුවන හොඳ හෝ නරක හෝ සිදුවීම් වලට බුද්ධිමත්ව, ශක්තිමත්ව, ආතතියකින් තොරව මුහුණ දීමට දරුවාට හැකිවන සේ දරුවා හදා වඩා ගතයුතු බවයි. ඒ සඳහා ඔහුගේ ජීවිතය සමබර කරන්න. ක්‍රියාශීලී කරන්න. සමවයස් කණ්ඩායම් සමග මුසු වෙන්න ඉඩ හරින්න. සෞන්දර්යයට ක්‍රියාකාරකම්වලට යොමු කරන්න. පරිසරය විඳින්නට ඉඩ සලසන්න. සමාජ යුතුකම් වගකීම් දරුවා සමග එක්ව ඉටුකරන්න. වසරකට වරක්වත් ඔවුන් රැගෙන අපගේ අතීත උරුමයන් නැරඹීමට සොබාදහමේ අසිරිය දකින්නට රැගෙන යන්න. පරිසර හිතකාමියකු ලෙස දරුවා හදාවඩා ගන්න.
එසේ නොමැති වූවහොත් මේ සමාජයටත් ඔබටත් අනාගතයේදී ලැබෙන්නේ සමාජය මෙන්ම ඔබද අපේක්ෂා නොකළ වැඩිහිටියෙකි. ඉතාම ශෝචනීය දෙය නම් මේ කිසිවකට දරුවා වගකිව යුතු නැති නමුත් අවසානයේ සියල්ල විඳවන්නේ අප ලෝකයක් පැතුම් දරමින් හැදූ වැඩූ දරුවාය.
සටහන එශාමා කාරියකරවන