free stats

දරුවෙකුගේ මනස දියුණු කරන්න පුළුවන් හොඳම කාලය මව් කුස තුල සිටින කාලය කියලා ඔබ දන්නවාද? දරුගැබක් දරා සිටින කාන්තාවක් පිරිසිදු සිතින් ආගමට දහමට ලැදිව ජීවිතය හැඩගස්වා ගන්නවා නම් බණ භාවනා කරනවා නම් සතුන්ට ආදරය කරුණාව දක්වනවා නම් හා පන්සිල් රකිමින් ජීවිතය ගෙන යනවා නම් එවැනි කාන්තාවකගේ කුස තුළ වැඩෙන දරුවාගේ මනස සන්සුන් වෙන අතරම එම දරුවා ප්‍රබුද්ධ දරුවෙක් බවට පත්වෙනවා.

ඒත් අපේ බොහෝ මව්වරුන් සිතන්නේ දරුවාගේ මනස ප්‍රගුණ කරන්න පුළුවන් හොඳම තැන මොන්ටිසෝරි කියලයි. ඒත් එම මතය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. යම් දරුවෙකු පෙර භවයේ ගෙන එන ප්‍රබල සිතක් සමඟ උපදින්නේ නම් එම දරුවා ඉබේම ප්‍රබුද්ධ දරුවෙකු බවට පත්වෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. ඒත් උපතින් ප්‍රබුද්ධ ඥානයක් නොගෙන උපත ලබන දරුවාට ඥානය ලබා දීමට ඇති හොඳම කාලය වෙන්නේ දරුවා ඉපදී කථා නොකර ගත කරන අවුරුදු එකහමාරක කාලයයි. මෙම කාලය තුල දරුවා සමඟ වැඩිහිටියන් කථා කරන සෑම වචනයක් දරුවා තමන්ගේ මත ගබඩාවේ තැන්පත් කර ගැනීමට උත්සහ කරනවා.

දරුවාට යම් යම් දේ පෙන්වමින් ඒවා හදුන්වා දීමට උත්සහ කරන්නේ නම් එය දරුවාගේ මතකයේ නොමැකෙන ලෙස සටහන් වෙනවා. අතීතයේ අපේ මව්වරුන් දරුවාට ගෙදර වැඩිහිටියන්ගේ පින්තූර පෙන්වමින් ඔවුන්ව හදුන්වා දීමට නිරන්තරයෙන්ම උත්සහ කළා. සීයා ආච්චි කවුරුන්ද යන්න දරුවාට හදුන්වා දී එය නැවත අසන විට දරුවාට කථා කිරීමට නොහැකි වුවත් ආච්චි සීයා දෙසට අත දිගුකර පෙන්නුවා. දරුවාගේ මතකයන් එදා ගබඩා කළේ අම්මා.

දරුවාට බහ තේරීමට බැරි වුවද අම්මා පෙත්තා පෙන්වමින් දරුවාට බත් කැව්වා. මයිනා පෙන්නවමින් කපුටා පෙන්වමින් දරුවාට එම සතුන් හදුන්වා දුන්නා. ගෙදර ඇතිකරන බල්ලා පූසා දරුවා තමන්ගේ මනස තුළ තැන්පත් කරග ගත්තේ නොමැකෙන ලෙසයි” එසේ නම් දරුවාගේ මුල්ම ගුරුවරිය තමන්ගේ මව. දරුවාගේ මතක ගබඩාව පෝෂණය කළේ අම්මා.

අලුත ඉපදුණ දරුවෙකුට කථා කරන්න බැරි වුණත් දරුවාගේ මොළය හොඳින් වැඩ කරන බව එදා අම්මලා දැන සිටි නිසාම නැලවිළි ගී කියමින් දරුවා නැළෙව්වා. දරුවා දොයි දොයි කියන විට දරුවා නිදා ගත්තා. ඒ විතරක් නෙවෙයි කාක් කාක් ”අබුන්” කියන විට දරුවා කට ඇරියේ ඒ නිසයි.

එදා අපේ අම්මලා දරුවන් ඉදිරියේ බොලඳ වෙවී ලෝකය පෙන්නුවා.

“සමන් පිච්ච මල් ඉහිරුණු
නිල්තණකොළ පිට්ටනියක් වගේ අහස
අන්න බලනු
කොච්චර ලස්සන ද රෑට“

කියලා අම්මා උඩ බලනවා. නමුත් දරුවට අම්ම කියන දෙය තේරෙන්නේ නැහැ. ඒත් අම්මා උඩ බලනවා දරුවා දකින නිසා දරුවත් උඩබලනවා.

ඒ වගේම තමයි එදා දරුවාගේ මතක ගබඩාවට යම් යම් දේ අම්මලා එකතු කළේ. ඒ වගේම තමයි දරුවාගේ මතක ගබඩාවට අතීත රජ කථා වීර කථා එකතු කරන්න සීයයි ආච්චිය ප්‍රධාන වෙනවා. ගෙදරක අම්මා ප්‍රධානව සීයයි ආච්චියි එකතුවෙලා දරුවාගේ මතක ගබඩාව හොඳින් පෝෂණය කළ නිසා දරුවන්ට මොන්ටිසෝරි ගිහින් ඉගෙන ගන්න දෙයක් තිබුණේ නැහැ. අනික මොන්ටිසෝරි ගියත් පාඩම් වැඩ මතක තබා ගන්න පහසුවක් වුණා.

ඒත් අද අවාසනාවකට දරුවාගේ මතක ගබඩාව් පෝෂණය කරන්න අම්මාලාට විවේකයක් නැහැ. අම්මලා බොහෝමයක් රාජකාරියට යනවා. දරුවා හැදෙන්නේ ගෙදර ඉන්න සේවිකාවත් එක්ක. ඇය කිසි දිනක දරුවාට කවි සිංදු කියා දෙන්නේ නැහැ. ඇය වැඩ කරන්නේ ඇයට ලැබෙන වැටුපටයි. සීයයි ආච්චියි බොහෝ වෙලාවට ඉන්නේ රෝගී තත්ත්වයෙන්. ඒ නිසා බහතෝරන්න කලින් දරුවාගේ මතක ගබඩාව පුරවන්න පුළුවන් කමක් නැහැ. අද දරුවන්ගේ මතක ගබඩාව පුරව ගන්න වෙලා තියෙන්නේ මොන්ටිසෝරියෙන්. මොන්ටිසෝරි යන කොට දරුවා හොදට කථා කරනවා. නමුත් මතක ගබඩාවේ මතකයන් තැන්පත් කළ යුත්තේ බහතෝරන්න කලින්.

අද පාසැලේ විෂයන් 9ක් උගන්වන්න ගුරුවරුන් 9 දෙනෙක් අවශ්‍යයයි. ඒත් ඒ විෂයන් 9 එක ලමයෙක් මතකයේ රදවා ගන්න ඕනේ. ඒ නිසයි ළමයාගේ මතක ශක්තිය පොඩි කාලේ ඉදලම අපි හදන්න ඕනේ කියන්නේ.

පියෙක් හැම විටම කරන්නේ දරුවෙක් කය වර්ධනය කරන එකයි. ඒත් දරුවාගේ නුවණ වර්ධනය කරන්නේ අම්මා. දරුවා හොඳ ප්‍රබුද්ධයෙක් කරන්න නම් ප්‍රසිද්ධ මොන්ටිසෝරියකට නොයවා හොඳ කට ඇති මවක් වන්න.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
හිටපු ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම් හේරත් මහතා


සටහන – ශ්‍රියානි විජේසිංහ