free stats

නිරෝගී බිළිඳකු යනු සෑම දෙමව්පියකුගේම ප්‍රාර්ථනයයි. දස මසක් කුසේ දරා සිටි මවට මෙන්ම මුලු‍ කාලයේම බලාපොරොත්තු දල්වා ගෙන සිටි පියාට මුල් වරට තම දරුවාගේ මුහුණ දකින අවස්ථාවේ ඇති වන සතුට කියා නිම කරන්න බැරි තරම්. එහෙත් අවාසනාවකට, එතැන් සිට ඇති ගමන යා යුතුව ඇත්තේ රෝස මල් වලින්ම ඇතිරූ මාවතකම නොවෙයි. සතුට, සැහැල්ලු‍ව මෙන්ම, දුක, වේදනාව, ආතතිය වැනි අභියෝග වලටත් මුහුණ දීමට සෑම දෙමව්පියන්ටම සිදු වෙනවා. ඉපදුණු දින සිටම දරුවාගේ කිරි බීම, නින්ද, ක්‍රියාකාරිත්වය හා වැඩීම ගැන මව්පියන් නොසිතන මොහොතක් නැති තරම්. එසේම, බිළිදාගේ දකින්නට ලැබෙන සමහර ශාරීරික ලක්ෂණ සහ හැසිරීම් සාමාන්‍යද, නැතිද යන පැනය මවුපියන් තුළ, විශේෂයෙන්, පළමු දරුවා ලැබුනු මවුපියන් තුළ හටගැන්ම අරුමයක් නොවෙයි. එනිසා, ඔබේ බිළිදා ගැන ඔබ දැනගත යුතු කරුණු ස්වල්පයක් සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

ඕනෑම බිළිඳකු බිහි වී, රෝහලෙන් පිටව යාමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ සම්පූර්ණ පරීක්ෂාවට ලක් වෙනවා. නව ජන්ම පරීක්ෂාව හෙවත් Newborn examination ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වන මේ පරීක්ෂාවේදී කිසියම් අසාමාන්‍යතාවක් හෝ රෝගී තත්ත්වයක් ඇතොත් බොහෝවිට හදුනාගනු ලබනවා. ඒ ගැන මවුපියන් දැනුවත් කිරීමෙන් පසුව අදාල ලෙස ප්‍රතිකාර කිරීම හෝ සායන වෙත යොමු කිරීම සිදු වෙනවා. නව ජන්ම පරීක්ෂාවේ ප්‍රතිඵල ළදරු සටහන් පොතේ හෝ එයට ඇමිණූ විශේෂ පත්‍රිකාවක වෛද්‍යවරයා විසින් සටහන් කරනු ලබනවා. කෙසේ නමුත්, රෝහලෙන් පිටවී යාමට පෙර දරුවාගේ මෙවන් ශාරීරික ලක්ෂණ හා හැසිරීම් ගැන වෛද්‍යවරුන්, හෙදියන් සහ මාතෘ සේවිකාවන් වෙතින් වැඩි පැහැදිලි කිරීම් සහ උපදෙස් ලබා ගැනීමට පුලු‍වන්. එහෙත් මෙකී බිළිඳු ලක්ෂණ ගැන සාමාන්‍ය අවබෝධයක් නැත්නම් විශේෂයෙන්ම නිවසේ දරුවා සමග සිටින ඔබ අනවශ්‍ය ලෙස කලබලයට පත්වීමට හේතුවෙන් විය හැකියි. ඒ නිසා හිසේ සිට පාද දක්වා ළදරු පරීක්ෂාවක් ඔබත් සමගම සිදු කිරීමට වෛද්‍යවරයා සූදානම්.

හිස

දරුවා බිහි වූ අලු‍ත හිසේ ඇතිවන ඉදිමුම හා අසාමාන්‍ය හැඩය බියවිය යුතු දෙයක් නොවෙයි. සාමාන්‍ය දරු ප්‍රසූතියකට පසු මෙන්ම සිසේරියන් ප්‍රසූතියකට පසුවත් දක්නට ලැබෙන aput succedaneum නමින් හදුන්වන මෙම තත්වය උපතේදී හිස් කබල උඩින් ඇති පටක තෙරපීම හා ඉදිමීම නිසා හට ගන්නක්. පලමු දින දෙක තුන තුල මෙය සාමාන්‍ය තත්වයට පත්වීම සිදු වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී හිසේ එක පැත්තකට සීමා වූ බෝලයක් සේ අතට දැනෙන cephalohaematoma නමින් හදුන්වන ඉදිමීම් හදුනාගත හැකියි. ඉහත දැක්වූ ලෙසින්ම, උපතේදී හිසට ඇතිවන තෙරපුම නිසා, හිස් කබල සෑදී ඇති අස්ථි අතරින් තෙරපුමට ලක්වූ කිසියම් අස්ථියක් ආවරණය කරමින් ඇති periosteum නමින් හදුන්වන කවරයක් වැනි පටලය තුලට ලේ ගැලීම නිසා මෙම වර්ගයේ ඉදිමීම් ඇති වෙනවා. එක් එක් අස්ථියක් ආවරණය කරමින් වෙන වෙනම periosteum ආවරණ ඇති නිසා, අදාල අස්ථිය මතුපිටින් පමණක් කුඩා ඉදිමුමක් ලෙස මෙය මතුවීම වටහා ගත හැකියි. බොහෝ විට මෙවන් ඉදිමීම් හානිදායක නොවුනත්, සම්පූර්ණයෙන් නැති වී යෑමට මාස දෙක තුනක් ගත විය හැකියි. කෙසේ නමුත්, මෙවන් බිළිඳුන් කහ පැහැ වීමට (බිළිඳුන් කහ වීම ගැන පහත විස්තර කර ඇත) වැඩි අවස්ථාවක් ඇති නිසා මුල් සතිය තුල නිතරම පළපුරුදු පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ හෝ වෛද්‍යවරයකුගේ අධීක්ෂණයට ලක් විය යුතුයි.

ඇස්

නිතරම ඇස් වලින් කදුලු‍ හා කබ ගැලීම බොහෝ බිළිඳුන් තුල උපතේ සිටම දැකිය හැකි තත්වයක් . ඇසත්, නාසයත් සම්බන්ධ කරමින් තිබෙනNaso lacrimal duct නමැති නාලය අවහිර වීමෙන් , ඇසේ නිපදවන කදුලු‍ අසාමාන්‍ය ලෙස පිටතට ගැලීම සිදු වෙනවා. මෙය කලබල විය යුතු තත්ත්වයක් නොවුනත් මෙහිදී නොකඩවා ඔබ සිදු කල යුතු ඇස් පිරිමැදීමේ ප්‍රතිකාරය හෙවත් eye massage ගැන ඔබේ වෛද්‍යවරුන් ඔබට පහදා දෙනු ඇති. එහෙත් කිසියම් විටෙක බිළිඳු දරුවාගේ කබ ගැලීම සමගම එක් ඇසක් හෝ දෙකම රතු වී හෝ ඉදිමී ඇත්නම් වහා වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත් වන්නේ මේ ඇස් ආසාදනයක් වීමට ඇති අවස්ථාව වැඩි නිසයි.

තවත් දෙමව්පියනගේ අවධානය යොමුවන, බොහෝවිට හානිදායක නොවන අක්ෂි තත්වයක් ලෙස සුදු ඉංගිරියාවේ ඇතිවන රතු ලප දැක්විය හැකියි. ඉංග්‍රීසියෙන් conjunctival haemorrhage ලෙස හදුන්වන මේවා උපතේදී බිලිදා මුහුණ දෙන තෙරපුම නිසා ඇසේ මතුපිට කුඩා රුධිර නාලිකා වලින් ලේ පිටවීමෙන් ඇතිවෙනවා. බොහෝ විට විශේෂ ප්‍රතිකාර වලින් තොරව මේවා සුවවෙනවා .

මුඛය

සාමාන්‍යයෙන් බිලිදාගේ දිව ඕනෑම අතකට චලනය කල හැකි ලෙස මුඛ කුහරයේ පතුලට සවි වී තිබුනත්, සමහර විට දිව යට අමතර පටලයකින් වැඩ්පුර ඇලී පැවතිය හැකියි . Tpngue tie ලෙස හදුන්වන මෙම තත්වය කලාතුරකින් පමණක් කිරි බීමේ අපහසුතා ඇති කල හැකියි . එවන් විට පමණක් අමතර පටලයෙන් දිව මුදවන කුඩා ප්‍රතිකර්මයක් වෛද්‍යවරුන් සිදුකරනවා.

අලු‍ත උපන් දරුවන්ට දත් පිහිටිය හැකිද? සුලබ නැති වුවත් , එසේ දත් (Natal teeth ) පිහිටන අවස්ථා (බොහෝ විට එක් දතක්) තිබෙනවා. විශේෂයෙන් ඉදිරිපස ඇදි වල හටගන්නා මේ දත් සුදු පැහැයෙන් හෝ විදුරු මසේ ගැටිති ලෙස දිස් විය හැකියි. හදුනාගත් පසු දන්ත වෛද්‍යවරුන් වෙත යොමු කර මේවා ඉවත් කල යුතු වන්නේ කිරි දීමේදී දරුවාට මෙන්ම මවටද අපහසුතා ඇතිවන බැවින් හා ඉබේ ගැලවී ගියහොත් බිළිඳුන්ගේ ස්වසන මාර්ගය අවහිර වීම සිදුවිය හැකි බැවින් .

කන්-

කන් සවි වන තැන් වල ඇති අසාමාන්‍ය ගැටිති pre-auricular tags ලෙස හදුන්වනු ලබනවා . වෙනත් අසාමාන්‍යතාවක් නොමැතිනම් වැඩිදුර පරීක්ෂණ කිරීමට අවශ්‍ය නොවන අතර, පසු කාලීනව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් හරහා ඉවත් කර ගැනීමට හැකියි.

සම-

අලු‍ත උපන් ළදරුවාගේ සමේ ඇතිවන විවිධාකාර ලප, කැලල් මව්පියන් තුල කැළඹීමක් ඇති කරන බව පැහැදිලියි. වාසනාවකට මේ බොහෝ ලප කැලැල් වර්ග හානිදායක ඒවා නොවෙයි. ඉපදී පලමු දින කිහිපයේ ශරීරය පුරා පැතිරිය හැකි රතු පසුබිමක ඇතිවන සුදු පැහැති බිබිලි වලින් සමන්විතErythema toxicum නමැති තත්වය බොහෝ දරුවන් තුල අති සුලබ ලෙස දැකිය හැකි අතර හානිදායක වන්නේ නැහැ. එසේම විවිධාකාර නම් වලින් හදුන්වන ලප කැලල් තත්ත්ව රැසක් ඇති නිසා ඒ සියල්ලම විස්තර කිරීමට මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ නමුත්, මේවා ගැන විශේෂ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඒ ඒ අවස්ථාවේ සිදුකළ යුතුයැයි මම යෝජනා කරනවා. විශේෂයෙන් බිලිදාගේ සමේ වෙනස්කම් උණ හෝ වෙනත් රෝග ලක්ෂණ සමග ඇති වී ඇතිවිට වහා වෛද්‍යවරුන් වෙත යොමුවිය යුතුයි.

සමහර ළදරුවන්ගේ සමේ රතු පැහැති ලොකු ලප( බොහෝ විට එකක්, කලාතුරකින් ඊට වැඩි) මුල් කාලයේ සිටම දකින්නට පුලු‍වන්. විවිධාකාර ප්‍රමාණවලින් යුතු මේවා සමහර විට ලා පාටින් හා සමහර විට හොදින් අතට අසුවන තද රතු පැහැයෙන් යුක්ත වෙනවා . සමට යටින් රුධිර වාහිනී එකතු වී සෑදෙන Haemangioma නමින් හැදින්වෙන මේ ලප පලමු වසර දෙක තුල දරුවා වැඩීමත් සමග තරමක් විශාල වීම සිදුවිය හැකියි. අදාල ලපය ප්‍රමාණයෙන් විශාල විට සහ ඇස් වැනි වැදගත් අවයව වලට කිට්ටුවෙන් පිහිටා ඇති විට විශේෂ ප්‍රතිකාර කරා යොමු කල යුතුයි. එසේ නොවන කුඩා ලප වලට ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ . වසර තුන පමණ වන විට ඉබේම මැකී යාම සිදු වෙනවා .

සමේ කහ පැහැය –

බිලිදුන් කහ වීම හෙවත් ව්මබාසජැ තත්වය ගැන ඔබ අසා ඇති . මෙයට හේතු රැසක් තිබෙනවා . පලමු පැය 24 තුල හදුනා ගත් විට, විෂබීජ ආසාදන, මව් හා දරුවාගේ රුධිර නොගැලපීම් වැනි බරපතළ තත්වයන් සොයා බැලීමට රුධිර පරීක්ෂණ හා අවශ්‍ය නම් ප්‍රතිකාර වහා ඇරඹීම රෝහලේදී සිදු කරනවා. එසේ බරපතළ හේතුවක් නොමැතිව බොහෝ බිලිදුන් තුල ඇතිවන කහ වීම චයහිසදකදටසජ්ක ව්මබාසජැ ලෙස හදුන්වනවා. කෙසේ නමුත් හොදින් කිරි නොපෙවෙන අවස්ථා වලදි වැඩිදුර කහ වීම සිදුවිය හැකියි. මුල සති දෙක තුල කහවන දරුවන් නිතරම වෛද්‍ය හෝ ළදරු සෞඛ්‍ය සේවිකාවකගේ අධීක්ෂණයට ලක්විය යුතු අතර අවශ්‍ය විට ඊසකසරමඉසබ නම් කහ වීමට හේතුවන වර්ණකයේ ප්‍රමාණය ඔවුන්ගේ උපදෙස් මත රුධිර පරික්ෂාවකින් සොයා බැලිය යුතුයි. එය අධික විට, රෝහලට ඇතුල් කර චයදඑද එයැර්චහ නම් වන අලෝක ප්‍රතිකාර ලබා දිය යුතුයි.

මව් කිරි බොන බිලිදුන්ගේ කිසියම් කහ පැහැයක් පලමු මාස දෙක දක්වාම පැවතිය හැකියි. ඔවුන් අනෙක් සෑම අංශයකින්ම නිරෝගී නම් පරීක්ෂණවලට යොමු කල යුතු නැහැ. එහෙත් බර අඩුවන, අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන බිලිදුන් වහා ළමා රෝග වෛද්‍යවරයකු වෙත යොමුකල යුතුයි . විශේෂයෙන් කහ වීම සමගම ඉතා ලා පාටකින් (කිරිමැටි වර්ණයෙන්) මල පිටවීම ළදරු අක්මා රෝගයක ලක්ෂණයක් විය හැකියි .

අත් සහ කකුල්-

ඔබේ බිලිදා අතක් හෝ කකුලක් සාමාන්‍ය පරිදි සොලවන්නේ නැත්නම් වහා වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුයි. විශේෂයෙන් බිලිදා වේදනාවෙන් පෙලෙයි නම් ඒ අස්ථි බිදීමක් හෝ අස්ථි /පටක වල විෂබීජ ආසාදනයක් විය හැකියි. සමහර විට ප්‍රමාණය විශාල දරුවන් බිහිවීමේදී සිදුවන ස්නයු වලට හානි වීම නිසාද විශේෂයෙන් අත්වල, මෙවන් තත්වයක් ඇති විය හැකියි.

පෙකනිය-

ඔබ දන්නවා ඇති පෙකනි වැල බොහෝ විට සති දෙක වන විට හැලී යන බව. එසේ නොවී දිගටම පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කල යුතුයි . ඒ එය ඉතා විරල ප්‍රතිශක්ති ඌනතා රෝගයක ලක්ෂණයක් විය හැකි නිසයි. පෙකනි වැල වැටීමට පෙර හෝ පසු යම් ගදක් දැනීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. එම ප්‍රදේශය ජලයෙන් පිරිසිදු කර වියලිව තබා ගැනීම ප්‍රමාණවත් . එහෙත් දැඩි ගදක් සහිත ස්‍රාවයක් පිටවීම, පෙකනිය ආශ්‍රිත සම රතු වීම,සහ ඒ සමග උණ ඇතිවීම හෝ දරුවා මලානික වීම දක්නට ලැබේ නම් වහා පෙකනියේ විෂබීජ ආසාදනය සදහා ප්‍රතිකාර ලබා දීමට රෝහල වෙත රැගෙන ආ යුතුයි. පෙකනිය ආශ්‍රිතව තවත් දැකිය හැකි සුලබ දෙයක් වන්නේ පෙකනියේ හර්නියා තත්වයයි. පෙකනියෙන් මතුවන , සමෙන් ආවරණය වූ ගෙඩියක් ලෙස දිස්වන මෙය සමහර විට සැලකිය යුතු විශාලත්වයෙන් යුක්තයි . වාසනාවකට මෙම හර්නියා වර්ගය නිසා බඩවැල් අවහිර වීම වැනි සංකුලතාවයන් ඇතිවන්නේ නැහැ. මුල් වසර කිහිපය තුල නැති වී යන බැවින් ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

පෙකනි වැල වැටීමෙන් පසු, පෙකනිය සාමාන්‍ය තුවාලයක් සුව වන සේ සුව වී, මතුපිට සමෙන් වැසී යනවා. සමහර අවස්ථා වල, පෙකනියේ කොටසක සමේ පටක හට නොගෙන , අලු‍ත් තුවාලයක් මෙන් දිගටම පවතිනවා. පෙකනි සිදුර තුල රෝස හෝ ඒ සමාන වර්ණයෙන් කුඩා ගැටිත්තක් ලෙස දිස් වන මෙය Umbilical granuloma ලෙසයි හදුන්වන්නේ. මෙයින් වෑහෙන ස්‍රාවයෙන් පෙකනිය නිතරම තෙත් විය හැකියි. මෙහිදී ,වෛද්‍යවරයකු විසින් සිදුකරනcauterization නමැති සරල ප්‍රතිකාරය මගින් කොපර් සල්ෆෙට් වැනි රසායනික ද්‍රව්‍යයක් ග්‍රැනියුලොමාව මතට යොදා එය වියලීමට සලසා සම්පූර්ණයෙන්ම සුව කිරීමට කටයුතු කරනවා

වෘෂණ කෝෂ

සාමාන්‍යයෙන් ,පිරිම් බිලිදුන්ගේ වෘෂණ දෙකම උපතේදී වෘෂණ කෝෂ තුල පවතිනවා. දරුවාගේ උදර කුහරය තුල ජනනය වන වෘෂණ දරු ප්‍රසුතියට පෙර කෝෂ වෙත සංක්‍රමණය වෙනවා. නමුත් සමහර විට එක් වෘෂණයක් කෝෂ තුලට සංක්‍රමණය නොවී, ඒ තුල නොපිහිටන අවස්ථා තිබෙනවා. වෙනත් අසාමාන්‍යතාවක් නොමැති නම් බොහෝවිට පළමු වසර තුල එම වෘෂණය වෘෂණ කෝෂය වෙත පැමිණෙනවා. එම නිසා, වෛද්‍යවරුන් මුල් වසරේදී වරින්වර පරීක්ෂා කිරීම පමණයි සිදු කරන්නේ. කාලයත් සමග පහලට නොපැමිණි අවස්ථා වලදි ස්කෑන් පරීක්ෂණ හා ශල්‍ය වෛද්‍යවරුන් වෙත යොමු කිරීම සිදු කරනවා. උපතේදී වෘෂණ දෙකම කෝෂ තුල නොපවතින විට සහ බාහිර ලිංගික අවයව විට කිසියම් අසාමාන්‍යතාවක් ඇති විට මුල සිටම විශේෂ පරීක්ෂණ සිදු කල යුතුයි.

මේ සාකච්ඡා කල කරුණු කිහිපය දෙමව්පියන්ගේ දැනුමට වැදගත් වෙනු ඇතැයි මා සිතනවා. නමුත් අවධාරණය කල යුතු වන්නේ කිසියම් සැකයක් ඇති සෑම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි. මෙහි සදහන් ඉංග්‍රීසි වචන යොදාගෙන අන්තර්ජාලය හරහා මෙම බිලිදා ආශ්‍රිත තත්වයන් සම්බන්ධයෙන් වැඩිදුර කියවීමට හෝ අදාල පින්තූර/වීඩියෝ නැරඹීමට හැකියි.

මෙවන් තවත් කරුණු, විශේෂයෙන්ම බිලිදාගේ හැසීරීම පිළිබඳව ඉදිරි කලාපයකදී සාකච්ඡා කරමු.

වෛද්‍ය නුවන් වික්‍රමසිංහ