ආහාර ජීර්ණ පද්ධතිය මුඛයේ සිට ගුද මාර්ගය දක්වා බටයක් ආකාරයෙන් පිහිටා තිබෙනවා. කලල අවධියේ දී මෙම මාර්ගය වර්ධනය වෙන්නේ කොටස් කොටස් වශයෙන්. මේ විදියට වර්ධනය වෙද්දි විවිධ නෙරායාම් ඇතිවෙලා මේකට සම්බන්ධ තවත් කොටස් ඇතිවෙනවා. උදාහරණයක් වශයෙන් ස්වසන පද්ධතිය ඇතිවීම පෙන්වා දෙන්න පුළුවන්. එය පිටතට සිදුවන නෙරීමක් සහ වර්ධනයක්. ඒ වගේම තමයි පිත් නාල සහ ඒ ආශ්‍රිත අවයව ඇතිවෙන්නේ. මෙවැනි අවයව නිර්මාණය වීමක් සිදුවන විට කලාතුරකින් අබාධ ඇතිවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ගලනාලය පිළිබඳව සලකා බැලුවහොත් ගලනාලය තුළින් ස්වසන මාර්ගය ඇතිවන නිසා සමහර විට ස්වසන නාලය හා ගලනාලය අතර අනවශ්‍ය අතරමැද සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. සමහර විට ගලනාලය සම්පූර්ණයෙන් වර්ධනය නොවී තියෙන්න පුළුවන්. ඒ වගේම කුඩා අන්ත්‍රය ගත්තොත් එහි සම්පූර්ණ කොටස් වර්ධනය නොවී සිදුරක් නොමැතිව බටයක් ආකාරයට නැතිව ඝනව පිහිටන්න ඉඩ තිබෙනවා. මහා අන්ත්‍රයෙත් කොටස් නිසි ලෙස වර්ධනය නොවීම හෝ සකස් නොවීම සිදුවෙන්න පුළුවන්.
අවයව නිර්මාණය වීමෙදී බඩවැල් මුලින්ම සකස් වෙන්නේ දරුවාගේ ශරීරයෙන් පිටතයි. ඉන්පසු ඒවා සිරුර තුළට ගමන් කිරීම සිදුවෙනවා. ඇතුලට ගමන් කිරීමේදී යම්කිසි ක්‍රමවේදයකට එය කරකැවීමකට ලක්විය යුතුයි. මෙය හරියාකාරව සිදුවුණේ නැත්නම් එහි යම් යම් අඩුපාඩු සිදුවෙලා අවහිරවීම් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. අපි ඒකට කියනවා ෂබඑැිඑසබ්ක ඵ්කරදඒඑසදබ කියලා. ඒ කියන්නේ කරකැවීම නිසිලෙස සිදුවෙලා නෑ කියන එකයි. ගලනාලය හරිහැටි නිර්මාණය වෙලා නැත්නම් ඒකට අපි කියනවා ෑිදචය්ටැ්ක ්එරුැිස් තත්ත්වයක් කියලා. එහෙමත් නැත්නම් කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රය නිසි ලෙස වර්ධනය වෙලා නැත්නම් අපි ඒකට කියනවා ෘමාැබ්ක ්එරුිස් කියලා.
අපි මේ කතා කරන්නේ හැදිලා තියෙන පේශිවල වෙනස්කම් සහ බටවල වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයන් ගැන. මෙයට අමතරව තවත් වෙනස්කම් ඇතිවීමට හේතුවන තත්ත්වයන් තිබෙනවා. උදාහරන විදියට අපි දන්නවා ආහාර මාර්ගය දිගේ ආහාර තල්ලුවෙලා පහලට යනවා කියලා. මේ ක්‍රමය අපි හඳුන්වන්නේ ක්‍රමාකුංචනය කියන නමින්. මේ ක්‍රියාවලිය නිසි ආකාරව සිදුවෙන්න නම් ස්නායු පද්ධතිය මගින් එයට අදාල පණිවිඩය නිසි පරිදි ලබාදිය යුතුයි. ස්නායු පද්ධතියෙන් මේ තත්ත්වය නිසි ලෙස සිදුනොවුණහොත් මේ ක්‍රියාවලිය හරියාකාරව සිදුවෙන්නේ නැහැ. බඩවැල ක්‍රියාකරන්නේ නැහැ කියන්නේ එතනින් එහාට ආහාර ගමන් කිරීම නිසි ආකාරව සිදුවෙන්නේ නැහැ කියන එකයි. මෙය ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ ගුද මාර්ගය ආශ්‍රිතවයි. සමහර වෙලාවට දරුවෙක්ට මේ හේතුව නිසාම මල පිටවන්නේ ගොඩ කාලෙකට සැරයක්. එතනින් එහාට හිරවෙලා තියෙන්නේ. ඒ කියන්නේ බඩවැල් වටේ ස්නායු ක්‍රියාකාරිත්වය හරි ආකාරව සිදුවෙන්නේ නැහැ. මෙය හඳුනාගන්න පුළුවන් එක තත්ත්වයක් තමයි ඉපදිලා සාමාන්‍යයෙන් පැය 24 ක් තුළ දරුවා මල පිට නොකිරීම. සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදිලා පැය 24 ක් තුල පළමු වරට මල පිටකරනවා. එය සිදුවුනේ නැත්නම් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.
ඒ වගේම කලාතුරකින් ගුද මාර්ගය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ධනය වීමක් සිදුවෙලා නැහැ. දරුවෙක් ඉපදුන විගසම කළ යුතු වැදගත් පරීක්‍ෂණයක් වෙන්නේ දරුවෙකුගේ ගුද මාර්ගයක් තියෙනවා ද එය නිසි පරිදි පිහිටලා තියෙනවා ද කියලා බැලීමයි. ඉපදුනු ගමන්ම මල පිටකලා නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ග-ුද මාර්ගය නිසි ලෙස පිහිටා තිබෙනවා කියන එකයි.
මේවා හඳුනාගැනීම පිළිබඳව මූලික අවධානය යොමු කල යුතුයි.
මෙයින් සමහර රෝග තත්ත්වයන් ගර්භණි අවධියේම හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවා මවගේ ගර්භාෂයේ තිබෙන තරලය ගිලිනවා. ගිලලා ඇඟට උරාගන්නවා. ඊට පස්සේ මුත්‍රා මාර්ගයෙන් නැවත ඒවා පිටකරනවා. නමුත් සමහර වෙලාවට ඒවා නිසි පරිදි ගිලගන්න බැරිවුණොත් දරුවාගේ ගලනාලය සම්බන්ධව ගැටළුවක් තිබෙන බව අවබෝධ කරගන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරුවා වටා තිබෙන තරලය වැඩි වෙනවා. ප්‍රමාණයට වඩා අම්මාගේ උදරය විශාල නම් එයින් තේරුම් ගතයුතුයි දරුවාට යම් සංකූලතාවයක් තිබෙනවා කියලා. මේ තත්ත්වය නිවැරදිව හඳුනාගන්න පුළුවන් වෛiවරයෙකුට පමණයි. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයකින් මේ තත්ත්වය හඳුනාගන්න පුළුවන්. මේ වගේ දරුවෙක් ඉපදුනාම එකපාරටම මව්කිරි ලබාදෙන්නේ නැහැ. මුලින්ම දරුවා වෙනත් ස්කෑන් පරීක්‍ෂණ සඳහා යොමු කරනවා. තත්ත්වය නිසි ලෙස හඳුනාගත්තට පස්සේ ශල්‍යකර්මයකට භාජනය කළ හැකියි. සමහර විට ඒ වෙලාවෙම සැත්කමක් මඟින් ඉන්ද්‍රිය සකස් කරනවා. එහෙමත් නැත්නම් කොටස් වශයෙන් සකස් කළහැකියි. දරුවෙක් ඉපදුනු ගමන්ම කටින් සෙම දානවා නම් මේ තත්ත්වය තිබෙනවා ද කියලා බැලිය යුතුයි.
සමහර වෙලාවට ලොකු සම්බන්ධයක් නොතිබුණත් කුඩා සම්බන්ධයක් තියෙන්න පුළුවන්. එහි ප්‍රථිපලය වෙන්නේ කුඩා ප්‍රමාණවලින් දියර සහ ආහාර ඒ කියන්නේ මව්කිරි ගලනාලය හරහා මේ සම්බන්ධතාවය තුළින් ස්වසන පද්ධතියට ගිහින් ආසාදන ඇතිකරන්න පුළුවන්. දරුවෙක් නිතර නිතර ස්වසන රෝගවලට ගොඳුරු වෙනවා නම් ඒ කියන්නේ නිව්මෝනියා රෝගයට ගොඳුරු වෙනවා නම් මේ පිළිබඳව විමසා බැලීම වැදගත් වෙනවා.
බඩවැල් ආශ්‍රිතව සිහින් වීමක් හෝ සකස් වී නොතිබීමක් වෙලා තියෙනවා නම් එහි රෝග ලක්‍ෂණ වෙනම කතා කරන්න පුළුවන්. දරුවා ඉපදුනු ගමන්ම බඩ ඉදිමිලා වගේ තියෙනවා නම් මේ තත්ත්වය අනුමාන කරනවා. මොකද එයා අම්මාගේ බඩේ ඉද්දි දිගින් දිගටම තරලය පානය කරලා තියෙනවා වුණත් තරලය පිට කරන්න විදියක් නැතිව බඩේ රැදිලා තියෙන නිසා අමාශයේ සහ මහා අන්ත්‍රයේ කොටස් ඉදිමෙන්න පුළුවන්. එය පෙනෙන්නේ බඩ ඉදිමිලා තියෙනවා වගේ. එවිට විශේෂ ස්කෑන් පරීක්‍ෂණයක් මඟින් මේ තත්ත්වය හඳුනාගන්න අවස්ථාව තිබෙනවා. සමහර වෙලාවට ආමාශයෙන් ග්‍රහණියට ආහාර යන විට ඒ පයිලොරස් එක ආශ්‍රිතව තදවීමක් තියෙනවා. මේ තත්ත්වය හඳුන්වන්නේ ශූද්‍රාන්ත්‍රයේ සංජානනීය ආබාධයක් ලෙසයි. මෙවැනි අවස්ථාවක දරුවා අඬලා මව්කිරි බොනවා, ලොකු බඩගින්නකින් ඉන්න බව පෙන්වනවා, වේගයෙන් කිරි බීගෙන යනවා. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් වමනය කරනවා. මේ වමනය ඈතට විදින ආකාරයෙන් පිටවෙනවා. ඒ වගේම ඉතාමත් වේගවත්. මේක දරුවෙකුගේ කට පැත්තෙන් බේරෙන වමනයට වඩා වෙනස්. මෙවැනි දරුවෙකුගේ ඉහල උදරයේ ඉදිමිමක් දකින්න ලැබෙනවා. තෙරපීමක් දකින්නත් පුළුවන්. අත තියලා බැලුවාම දැනෙන්නේ ඝණ ස්වරූපයකින්. සති දෙක තුනක් ගියත් මේ දරුවන්ගේ වර්ධනයක් සිදුවෙන්නෙත් නැහැ.
ප්‍රතිකාර
ගලනාලය සහ ස්වසන මාර්ගය අතර සම්බන්ධතාවය ශල්‍යකර්මයක් මඟින් සුව කරන්න පුළුවන්. එය එක්වරම හෝ කොටස් වශයෙන් කල හැකියි. අමාශයේ ඇතිවන බාධක තත්ත්වයත් සරල සැත්කමක් මඟින් සුවකළ හැකි තත්ත්වයක්. අනෙක් අවස්ථාව වන කුඩා බඩවැල හා මහ බඩවැලේ කොටස් වර්ධනය නොවීම ශල්‍යකර්ම මඟින් කොටස් ඉවත් කර හෝ අලුත් කොටස් එකතු කර සකස් කරන්න පුළුවන්. ඒ වගේම ස්නායු වර්ධනය නොවීමේ ගැටළුවට වුණත් එම ස්නායු වර්ධනය නොවන කොටස ඉවත් කර ඒ වෙනුවට වෙනත් කොටසක් බද්ධ කරලා සකස් කරන්න පුළුවන්. ඖෂධ ප්‍රතිකාර මඟින් මේ තත්ත්වය සුවකරන්න බැහැ. බඩවැල් වර්ධනය සිදුවන අවස්ථාවේ ඇතිවන ගැටළු සඳහා ප්‍රතිකාර කිරීම වෙනම කාර්යයක්. මේ තත්ත්වය උපතේ දීම හෝ කුඩා කාලයේ ඇතිවන තත්ත්වයක් නෙවෙයි. සමහර විට අවුරුද්දක කාලයක් ඇතුලත වුණත් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා ප්‍රතිකාර කිරීම සිදුවන්නේ විවිධ පරීක්‍ෂණවලින් පසුවයි.
මහාචාර්ය පූජිත විජේසිංහ
සටහන චාපා හංසිනි ආටිගල