free stats

ඔබ මවක් බවට පත් වන්නේ පැටියා මෙලොවටත් බිහිවීමට පෙර සිටයි. පැටියා වෙනුවෙන් ඔබේ පුරුදු බොහෝමයක් වෙනස් කරමින් සූදානම් වන්නේ ගැබිනි බව තහවුරුවීමත් සමගයි. ඔබේ නින්ද, නින්දේ ප්‍රමාණය පමණක් නොවෙයි ඔබ නිදාගත් ආකාරය පවා වෙනස් කරන්නට සිදුවන බව ඔබ දන්නවා ඇති. වෙනදා සැප පහසුවට නිදාගත් නමුත් දැන් ඔබට එසේ නිදාගත නොහැකි වන්නේ පැටියාගේ ආරක්‍ෂාව මෙන්ම ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්‍ෂා කරගැනීමත් ගැටළුවක් වන නිසායි. මේ වෙනස බොහෝ මව්වරුන්ට අලුත් අත්දැකීමක් වුවත් ඔබට එයින් අලුත් වෙනසක් අත්විදිය හැකිය. මේ ඔබේ ජීවිතයේ සුන්දරම කඩඉමයි.
ආදරණීයම බලාපොරොත්තුවයි.

  1. වගකීම්

ඔබෙන් ආරක්‍ෂාව හා ආදරය පතන්නෙකු වෙනුවෙන් ඔබ දැන් වෙනස්වෙමින් සිටිනවා.

  1. පුරුදුවල වෙනසක්

සියල්ල ඔබ වටා භ්‍රමනය වෙමින් පවතියි. දැන් ඔබ තීරණ ගන්නේ අලුත් පැටියා වෙනුවෙන් නිසාම බොහෝ දේවල් වෙනස් කරන්නට සිදුවනවා ඇති. සමහර විට වෙනදා වේලාවට ආහාර ගැනීම පවා මඟහැරෙන්නේ නම් දැන් ඔබේ දෛනික පුරුදු වෙනස් වෙමින් පවතින බව ඔබට අවබෝධ වේ.

  1. ජීවිතයේ වෙනසක්

වෙනදා මෙන් සිතෙන වෙලාවට එළියට යන්න ඔබට බැහැ. පැටියා තනිව නිවසේ තබා යා නොහැකි නිසාම දැන් නිදහස තරමක් දුරට සීමා වෙලා. යහළුවන් සමඟ සතුටු සාමිච්චිය තරමක් දුරට සීමා වෙලා. මේ ජීවිතය ඇත්තටම ලොකු වෙනසක්.

  1. භෞතික වුවමනාවන්

පැටියා ලැබෙන්නට සිටි කාලයේ පටන් ඔබ වෙනස් වුණා. ඔබේ නින්ද, ආහාර පුරුදු, සනීපාරක්‍ෂක පුරුදු, ජීවන විලාසයන් සියල්ල වෙනස් වු නිසාම දැන් ඒවා පුරුදු බවට පත්වෙලා. දැන් ඔබට තිබෙන බොහෝමයක් පුරුදු සෞඛ්‍යාරක්‍ෂිත ඒවා බව ඔබට අවබෝධ වනවා ඇති.

  1. වගකීම්

ඔබට මහන්සියක් දැනුනත් දැන් පැටියාට ඔබව අවශ්‍ය නිසා සැලකිලිමත් වීමට සිදුවන්නේ ඔබ ගැන නොව පැටියා ගැනයි.

  1. උපදෙස්

ඔබ අලුත් අම්මා කෙනෙක් නම් දරුවා රැක බලාගැනීම පිළිබඳව උපදෙස් රැසක් දැනටමත් ලැබිලා ඇති. ඒ වගේම ඔබ වටා සිටින පුද්ගලයන් තම දරුවා රැකබලාගත් ආකාරය පිළිබඳව ඔබට උපදෙස් දෙනවා ඇති. සියල්ල අසා සිටින්න. වැදගත් යමක් ඇත්නම් ප්‍රයෝජනයට ගන්න.

ඔබේ හැඟීම් කුමන ආකාරයේ ඒවා වුවත් සියලු හැඟීම් සාර්ථකව මෙහෙයවන්නට දැන් ඔබට ඉගෙන ගන්නට පුළුවන්. වගකීමක් දරන්නේ කෙසේද, අනෙක් පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කරමින් සිය කාර්යය සාර්ථක කරගන්නේ කෙසේද, සියල්ලන්ට ඇහුම්කන් දෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න දැන් ඔබට අවබෝධ වී තිබෙනවා. වෙනදා ඔබ සමඟ අමනාපයෙන් සිටි අය පවා ඔබේ සහයට එන නිසා පරණ අමනාපකම් මඟහරින්න ඔබට පුළුවන්. මේ දවස්වල සිදුවෙන හැමදෙයක්ම පසුකාලීනව ඔබේ මතකයේ සුන්දර අත්දැකීම් බවට පත්වෙනවා. ඒ නිසා සැමියා එක්ක කතා කරලා පුංචි දිනපොතක් ලියන්න. එයාගේ අදහස් ඔබේ අත්දැකීම් එක්ක ලස්සන පොතක් ලියන්න දවසක ඔබට පුළුවන් වෙයි. ඒ දිනපොත ඔබේ පැටියා ලොක-ු වුණු දවසක එයාට පෙන්නන්න ඔයාට පුළුවන්. ඔබ මොනතරම් ඔහු වෙනුවෙන් කැපවීම් කළා ද කියලා පැටියා දවසක තේරුම් ගනියි. ඒ වගේම මේ ඔබේ පළමු දරු ප්‍රසූතිය නම් එවැනි අත්දැකීම් සහිත පොතක් ඔබේ දෙවන තුන්වන දරු ප්‍රසූතියටත් වැදගත් වෙනවා.

ඒ වගේම ඔබේ පැටියා සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න. එයා සමඟ වැඩිවේලාවක් කාලය ගතකිරීම ඒ සඳහා ඇති හොඳම පියවරක්.

දැන් ඔබට මවක් ලෙස ආඩම්බර විය හැකියි……………

ජීවිතය සතුටින් ගෙවන්න අදහස් කිහිපයක්…………

පැටියාගේ හැම ඉරියව්වක්ම ඡායාරූපගත කරන්න. ඔහු සමඟ ගෙවන හැම තත්ත්පරයක්ම ඔබේ ඇල්බමයට එකතු කරන්න. දිනෙක ඒ සියලු මතකයන් ඔහුට සුන්දර අත්දැකීමක් වේවි.

ඔබ කැමතිම සංගීත ඛණ්ඩයක් හෝ කිහිපයක් තෝරාගෙන නර්ථනයේ යෙදෙන්න. පැටියා ඔබ දෙස බලා අපමණ සතුටට පත්වේවි.

මහන්සියක් දැනෙන විට පැටියා සමඟ කතා කරන්න. එළියට යන්න. අවට වටපිටාව ගැන පැටියා සමඟ කතා කරන්න. ඔහුට අදහස් දක්වන්න නොහැකිවුණත් සතුටින් ඔබට ඇහුම්කන් දේවී

ඔබේ ආදරණීයයන් සමඟ කතා කරන්න. ඔබේ අත්දැකීම් ඔවුන් සමඟ බෙදාගන්න. ඔවුන්ගේ අත්දැකීම් අසන්න. ඔවුන් සමඟ සිනාසෙමින් අපමණ සතුටට පත්වන්න.

ඔබට යමක් මිලදී ගන්නට පිටතට යාමට නොහැකි නම් එය අන්තර්ජාලය හරහා මිලට ගන්න. ඒ තේරිම නිවසට පැමිණි දිනට සතුටින් බාරගන්න.

පැටියා එක්ක එකතු වෙලා පුංචි වීඩියෝවක් කරන්න. එයා එක්ක එකතු වෙලා ඒ වීඩියෝව නරඹන්න. ඔබේ මිතුරු මව්වරුන් සමඟ ඒ අත්දැකීම බෙදාගන්න.

සටහන චාපා හංසිනි ආටිගල