free stats

යහපත් පවුල් ජීවිතයක පිළීබඳව බොහෝ දෙනාගේ ආකල්පය නම් එය එතරම් අරුමයක් නොවේ. අපගේ මව්පියන් ඔවුන්ගේ පවුල් ජීවිතය ගත කළ ආකාරය බොහෝ විට මෙහිදී අප ආදර්ශයට ගනිමු. එහිදී ආදර්ශමත් පවුල් ජීවිතයක් ගතකළ මවුපියන්ගේ දරුවන් එම ආදර්ශ තම පවුල් ජීවිතයට ඈඳා ගනිති. එසේ නොමැති පවුල්වල දරුවෝ ඔවුන්ට ලැබුණු අත්දැකීම් මත තම පවුල් ජීවිතය ගෙන යති. එහෙත් සැලකිය යුතු ප්‍රමාණයකට මෙම ආදර්ශ නිසි පරිදි ග්‍රහණය කර ගැනීමට අවකාශ ලැබුණ බවක් පෙනී නොයයි. එසේ කියනුයේ දිනපතා අපට හමුවන අඹුසැමියන් ජීවිතය දෙස බලන ආකාරය දුටු විටදීය. ඉතාම සුළු ගැටළු සාමකාමීව සන්සුන්ව විසඳා ගැනීමට ඔවුන් තුළ කුසලතා නැති බව පෙනී යන විටය. ජීවත්වීමට ඉගෙන ගතයුතුය. විවාහයට පෙර විවාහ ජීවිතය ඉගෙන ගැනීමද කළ යුතුය.

කුඩා කාලයේ සිටම තම මවුපියන්ගේ ගැටුම් හැලහැප්පීම් දුටු සහ ඒවායේ අනිටු විපාක වලින් තම ජීවිතය පීඩාවට පත්වූ දරුවන්ගෙන් බොහොමයක් තම විවාහ ජීවිතයේ තීන්දු තීරණ ගැනීමේදී පමණක් නොව වගකීම් යුතුකම් ඉටුකිරීම් ආදියේදී පවා සෘජු සහ සමබර ලෙස කටයුතු කිරීමේ හැකියාවෙන් දුර්වල වෙයි. මෙහිදී සමාජයේ බොහෝ පිරිස් සෘජු පෞරුෂය යනු කුමක්දැයි වටහා ගෙන නැත. සෘජු පෞරුෂය යනු තමන්ට අන් අය සමග ගණුදෙනු කරන්නට සිදුවන විටදී, තීන්දු තීරණ ගැනීමට සිදුවන විට තමාගේ ආකල්ප, චින්තනය සහ පෞරුෂය ක්‍රියාත්මක වන ආකාරයකි. තමාගේ මතය පැහැදිලිව අන් අයගේ සිත නොරිදවා ස්ථීරව කියා පෑමට ඇති ශක්තියයි. තමාට අවශ්‍ය දේ මෙන්ම අවශ්‍ය නොවන දේද, තමා බලාපොරොත්තු වන දේද, තම කැමැත්ත අකමැත්තද බොහොම සෞම්‍ය ස්වරූපයෙන් අනෙකාගේ ආත්මය සිදුරු නොකර ගරුත්වයකින් යුතුව කියන්නට ඇති හැකියාව සෘජු බවයි. එහෙත් සමහරු සෘජු බව යනුවෙන් අදහස් කරන්නේ තමාට අදහස් කරන දේ ඒ මොහොතේම තැන නොතැන නොබලා අන් අයගේ ආත්ම ගෞරවය, අභිමානය පිළිබඳව තැකීමක් නොකර ප්‍රකාශ කිරීමයි. “කට කෑවත් කියන්න ඕන දේ කියනවා“ යනුවෙන් සමහරු උදම් අනන්නේ මෙම ලක්ෂණයයි. ඇත්තටම එය ඍජු බව නොවේ. එය රළු පුද්ගල ස්වභාවයයි. මෙම රළු ස්වභාවයෙන් තමා සතුටු වුවද අන්‍යයන්ගේ සිත බිඳී යයි. සමහර අවස්ථාවල නිවුනු තැන්පත් ස්වභාවයෙන් කිවහැකි යමක් එසේ නොකියා රළුපරළු ස්වභාවයෙන් පැවසීම නිසා සති මාස ගණන් පවුලේ සාමය අවුල්ව ගිය යුවතිපතීන් හමුවෙයි.

පවුල් ජීවිතයකදී මෙවන් පැවැත්මක් දිගින් දිගටම ඇති වූවහොත් සහකරු, සහකාරිය පත්වන්නේ මහත් පීඩාවකටය. දෙදෙනාම රළු චරිත වූයේ නම් නිවසේ තත්වය නිතරම ගැටුම්කාරී වෙයි. දෙදෙනාට දෙදෙනා එපාවෙයි. වර්තමානයේ පවුල් ගැටළුවලට බොහොමයක් හේතු වන්නේ මෙවන් දේ පිළිබඳව අවබෝධයක් නොමැතිකමටත් වඩා ඒ පිළීබඳව ඇති නොසැලකිල්ලයි. තම සහකරු සහකාරියද ගරුත්වය අභිමානය ලැබිය යුතු කෙනෙකු බව අමතක කිරීමයි. අපගේ කතාබහ සහ හැසිරීම් සුළු වෙනසකට පත්කිරීමෙන් ඇතිකර ගත හැකි යහපත් ප්‍රතිඵල සැමියන් බිරින්දෑවරු මොහොතකට සිතා බලන්නේ නම් ඉතාම ආදරණීය බවක් තම පවුල් ජීවිතය වෙතට කැඳවා ගත හැකිය.

පවුල් ජීවිතයට පමණක් නොව අපගේ සමාජ ජීවිතයට පවා මුදු මොළොක් වචන භාවිතා කිරීම ඉතා වටිනා සදාචාර ගුණයකි. අපි සැවොම අනෙකාගෙන් ගරුත්වය ලැබීමේ ආශාව ඇත්තන් වෙමු. එම ගරුත්වය ප්‍රදානය කරන ප්‍රධානම හැසිරීම නම් වචන භාවිතයේදී අප දක්වන සුඛනම්‍ය විළාසයයි. සැරපරුෂ වදන් භාවිතය නිතර විධානාත්මක ඇමතුම් කිරීම මගින් ඉටුකර ගත නොහැකි බොහොදේ ආදරණීය එක් ඇමතුමකින් කරගත හැකි බව බොහෝ යුවතිපතීහු නොදනිති. එමනිසා නිරන්තරයෙන් නියෝග විධාන හෝ ගැටුමකින් හෝ අදහස් මුදුන් පමුණුවා ගැනීමට උත්සහ කරති.

එය ඔබේ දරුවන්ටද බෝවී ඔවුන්ගෙන්ද එම කර්කශ ස්වභාවය ඔබ අත්විඳින විට ඔබ පත්වන අසීරුතාවට හේතුව ඔබම බව වටහාගන්නා විට ඔබ වැරදි මාර්ගයක බොහෝදුර ඇවිත් බව ඔබට දැනේවි. එමනිසා හැමවිටම කෙතරම් අසීරු මොහොතකදී වුවද පවුල තුළත් ඉන් පිටත් මියුරු ලෙස කතාකරන්නට උත්සහ ගන්න. ඉන් ඔබට අත්වන වාසි ඔබම අත්විඳින්න. කෙතරම් කෝපයට පත්වුවද හඩෙහි පාලනය සහ වචන පිටකිරීමේ වේගය පාලනය කර ගැනීමට උත්සහ කරන්න. එමගින් අනෙකාගේ ආවේගයන් ඉස්මතුවීම වළකාලයි. දෙදෙනා අතර බහින්බස් වීම් සිදුවුවද දරාගත හැකි මට්ටමකින් එය සිදුවෙයි . බොහෝ විට අඹුසැමියන් ගැටීමකදී, වාදයකදී කියන කතා අතර ඒ මොහොතේ ගැටීමට මුල්වූ කාරණාව ඇත්තේ අල්ප ලෙසය. වැඩිපුරම ඇත්තේ ඒ අවස්ථාවට කිසිම සම්බන්ධයක් නැති වෙනත් බාහිර කතාය.

වරක් රාත්‍රි ආහාර මේසයේදී කෑමට ලුණූ මදිවීම නිසා ඇතිවූ කතාබහ දුරදිග ගොස් බිරිඳගේ නාසය කැඩෙන්නට පහරදුන් සැමියකු සහ බිරිඳක් උපදේශනය වෙත පැමිණීයහ. ඔවුන් හා කතාබහ කිරීමේදී ඔවුන්ගේ ආරවුල් වෙලාවේදී ඔවුන් කතාකළ තිබූ දේවල් මෙසේය.

ඒ මොහොතේ ආහාර වල ලුණූ මදිවීම
මාසයකට පෙරත් මේ දේම සිදුවීම
නිසිපරිදි ඉවුම්පිහුම් කිරීමට අසමත්බව
වෙනත් කාර්යයන් වලදී පවා අසමත්කම් පෙන්වීම
(දෙදෙනාගේ පවුල් ඈඳා ගැනීම්)
මව්පියන් හරිහැටි ගෙදර වැඩ ඉවුම්පිහුම් උගන්වා නොතිබීම
දෑවැද්ද මදිවීම, දෑවැද්ද වංචාකිරීම
පිරිමියා බින්න බැසීම
අසභ්‍ය වදන් භාවිතා කිරීම
පහරදීම, පිගන් කුඩුකර දැමීම

මේ ලයිස්තුව දබර වන අවස්ථාවේ අපට අවබෝධ නොවේ. නමුත් ඔවුන් කළ කීදේ පෙළගස්වා පෙන්වා දීමේදී ඔවුන් ලැජ්ජාවට පත්විය. සත්‍ය වශයෙන්ම මෙම පෙළ ගැස්වීමේදී දබරවීමට නිමිත්තක් තිබුණේ නම් තිබුණේ පළමුවෙන්ම තිබූ හේතුව පමණි. එය අතපසුවීමක් සේ සලකා මුදු ලෙස පෙන්වා දී ආහාරවලට ලුණූ ටිකක් මිශ්‍රකර ගැනීම කළයුතු හොඳම දේ වුවද, බොහෝ මනුෂ්‍යයන්ගේ සිත තුළ නිරන්තරයෙන්ම පවතින අනෙකාගේ අඩුපාඩු පෙන්වා ඔවුන් යටපත් කර පාලනය කිරීමේ හෝ පෙළිමේ ආශාව නිසා පළමු කාරණයෙන් කතාබහ අවසන් කෙරෙන්නේ නැත. ඒ වෙනුවට වාදකර දබරයකට මුල පුරයි. එහෙත් ලුණු මදිවීම පමණක් දබරයක් පවත්වාගෙන යෑමට ප්‍රමානවත් නැත. දෙවන කාරණයේ සිට ඉතුරු සියල්ල ඕනෑවන්නේ දබරය තීව්‍රර කර ගනිමින් අනෙකා මට්ටු කිරීමටය.

මෙබඳු අවස්ථා වලට මුහුණ දෙන අය තමා කළ කීදේ නැවත ආවර්ජනය කළහොත් පසුතැවීමට ලැජ්ජාවට පත්වනු ඇත. ඇත්ත වශයෙන්ම ඉන්පසු ඇතිවන අමනාප කාලය ඇතිවූයේ වෑංජනයේ ලුණු මදිවීම නිසා නොව දෙපාර්ශවයේ ඥාතීන් එම දබරයට ඈඳා ගනිමින් ඔවුන්ට අවමාන කරමින් , අසභ්‍ය වදන් භාවිතා කරමින් පහරදෙමින් ඇති කළ සිත් වේදනාවන් නිසාය.



ඔහු මගේ මවට මෙසේ කීවේය, ඇය මගේ නංගීට මෙසේ කීවාය”


යනුවෙන් නැවත් නැවත මතක් වෙන හිත රිදවූ වදන්ය. ඒ නිසා යුවතිපතීන් හැමවිටම ගැටුමකට මුල්වන හේතූන් මගහැර අඩුපාඩුවකදී සමාව ඉල්ලීමට, සමාව දීමට සහ පුංචි පුංචි අඩුපාඩු ඉවසීමට පුරුදු විය යුතුය. එමගින් තමා යුගදිවියේ හවුල්කරු ලෙස තෝරාගත් තැනැත්තා හෝ තැනැත්තියට වරද හෝ අඩුපාඩුව හදා ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතුය. ජීවත්වීමේ රුචිය තමාටද අනුන්ටද වඩවන අයුරින් මනලෝලී වදන් තෙපළිය යුතුය.

එසේම තාක්ෂණික බද්ධ ජීවිත ගෙවන්නන් දිනෙන් දින පවුල සමග මිනිසුන් සමග ගණුදෙනු කිරීම, අන්තර් ක්‍රියා කිරීම, සම්බන්ධතා පැවැත්වීම පසෙක දා තාක්ෂණික උපාංග සහ උපකරණ සමග බැඳී සිටීම නිසාද ගැටළු සාදා ගනී. වර්තමානයේ බොහෝ පුද්ගලයන් විශේෂයෙන් තරුණ පරම්පරාව පමණක් නොව අඹූසැමියන්, පෙම්වතුන් පවා ඔවුනොවුන් සමීපව සිටින විටත් ඔවුනොවුන් අතර සංවාදයන් කිරීමට යොමුවීමට වඩා ජංගම දුරකථනයට, පරිගණකයට, රූපවාහිනියට වැඩි තැනක් ලබාදෙන බව දක්නට ඇත. ඒ පිළිබඳව බොහෝ මැසිවිලි උපදේශනයේදී බොහෝ සැමියන්ගෙන්ද බිරියන්ගෙන්ද නැගෙයි. එසේම මේ චර්යාව නිසා නිවස තුළ ඔවුනොවුන්ගේ ඇත්වීමක්ද උපදේශනයේදී ගැටළුවක් ලෙසින් අපට හමුවෙයි.

එම පවුල්වල දරුවන් සිටී නම් දරුවන්ද මේ වැරදි පුරුදු ග්‍රහණය කරගැනීමත්, මවුපියන් ඒ සඳහා අවැසි උපාංග දරුවන්ට සැපයීමත් නිසා කුඩාකළ සිටම දරුවෝද මෙම උපාංග සමග ගණුදෙනුකිරීමට යොමු වී පුද්ගල අන්තර් සම්බන්ධතාවලින් ඈත්වෙති. දරුවන් වැඩෙන විටදී ඔවුන්ද මව්පියන්ගෙන් ඈත්ව තාක්ෂණීක උපාංග සමග තමන්ගේ ලෝකවල ජීවත්වන බව වර්තමාන මවුපියන්ගෙන් නිතර කියවෙන මැසිවිල්ලකි. මෙමගින් ඇතිකරන කායික මානසික ගැටළු රාශියකි. එය ක්‍රමක්‍රමයෙන් ඇතිවන නිසා එහි හානිය වැටහෙන විට ප්‍රමාදවී ඇති බව කිව යුතුය.

එසේම මිතුරු මිතුරියන් හමුවූ විට පවා සතුටු සාමීචියට විහිළු තහළු වලට වඩා කිසියම් හුදකලා කෝණයකට වී ජංගම දුරකථනය සමග ගණුදෙනුවක වෙළී සිටීම වර්තමානයේ සුලබ දර්ශනයක් වී ඇත. පසුගිය දිනක සාදයකට ඇරයුම් ලැබූ මා හිතවතියක ඉතා වැදගත් යමක් මා හමුවෙ තැබුවාය. එනම් සාදයට ඇතුළුවන පරිශ්‍රයේදීම ඔවුන්ගේ ජංගම දුරකථන බාරගෙන ආපසු යනවිට නැවත ලබාදුන් බවයි. මේ නිසා බොහෝ දෙනා මුලදී ඈලි මෑළි ස්වරූපයෙන් සිටියත් පසුව කතා බහ කරන්නට පටන් ගත් පසු ඉතා මිහිරි වාතාවරණයක් විනෝදකාමී බවක් සාදය තුළ දිස්වුන බවත් මත්පැන් සහ දුරකථන නැති සාදයක් බොහෝ කාලයකින් අත්දකින්නට හැකි වූ බවත්ය. ඉතිං මෙවැනි තාක්ෂණික මිනිසුන් බහුල වන විට මෙවන් ආකාරයේ සාද සංකල්ප මතුවීම අරුමයක් නොවේ.

මා ඔබට කියන්නට උත්සහ ගන්නේ අප මෙබඳු පරිවර්තනයන් අපගේ ජීවිත තුළ පවත්වා ගැනීම නිසා අපටත් අපගේ සමීපතමයන්ටත් පීඩාකාරීවන බවයි. ජීවිතය ඒකාකාරීවන බවයි. එවිට අපි එයින් මිදීම සඳහා විවිධාකාරයේ චර්යාවන්ට යොමුවීමට උත්සහ කරයි. නමුත් වඩා සුදුසුම දෙය නම් ජීවිතය ඉගෙනීමයි. දැනගෙනම විවාහයට පිවිසීමයි. හැම දෙයකටම වඩා මනුෂ්‍යයා මනුෂයයන් සමග පවත්වන ප්‍රිය සමාගම ඔහුගේ කායික මානසික සුවයට වැදගත් බවයි. එමනිසා ජීවිතයේ දෙවන උපත බඳු විවාහට ඇතුළු වීමේදී ඒ පිළිබඳව ඉතා හොඳින් දැන ඉගෙන ගෙන පිවිසෙන්න. එවන් ඉගෙනුමකින් පසු විවාහයට පිවිසෙන ඔබට, ඔබගේ සහකරු සහකාරිය සමග තෘප්තිමත් ප්‍රීතිමත් දිවිගමනක් ගත කිරීමේ අවස්ථාවක් ඔබට ලැබේවි . ඔබෙන් උපදිනා පරපුර ප්‍රීතිමත් පරපුරක් වේවි. මානව සබඳතා පිළිබඳ විශ්වාසය ඇති වේවි. අන්තිමට ඔවුන් ලෝකයට ආදරය කරන ලෝකය රකින, මනුෂ්‍යාට ගරුකරන පරපුරක් වේවි. අප ඉපැයූ අන් හැම දෙයටම වඩා මහඟු වටිනා නිධානයක් ලෝකයට ඉතිරි කර තබා සතුටින් නික්ම යන්නට හැකිවේවි. ඒ ගමනාන්තය තෙක් ඔබේ වචන ඉතා පරිස්සමෙන් පරිසරයට මුදාහරින්න. මන්ද ගිය වචන ආපසු ඇදගැනීමට කිසිම ඉඩක් නැති බැවිණි.

ආදරය කරන්න. විවාහය ගැන දැනුවත් වන්න. ඉගෙන ගන්න. මිනිසුන් සමග විශේෂයෙන් පවුලේ සාමාජිකයන් සමග ප්‍රියවදන් පවත්වන අන්තර් පුද්ගල සම්බන්ධතා වැඩි කරන්න.

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන