free stats

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ පැටියට පුංචි හරි සීරිමක් වත් වෙනවාට පොඩ්ඩක් වත් කැමති නෑ. තමන්ගේ දරුවා ආරක්ෂිතවත්, සුවපහසුවත් ඉන්නවා දකින්නයි අම්මලා හැමතිස්සේම උත්සාහ කරන්නේ. ඒත් සමහර අවස්ථාවලදී පැටියට ලස්සනයි කියලා හිතලා ගන්න ගොඩක් ඇඳුම් පැළඳුම් නිසා දරුවාට අපහසුවක් හෝ හානියක් වෙනවා කියලා අම්මලා දන්නේ නැහැ. දරුවන්ට ඇඳුම් තෝරා ගැනීමේදී වැඩිහිටියන්ට තෝරා ගන්නවාට වඩා ඉතා සැළකිල්ලෙන් තේරීමට ප්‍රවේශම් විය යුතුයි. වැඩිහිටියන්ගේ සම වයසත් එක්කම තරමක් රළු ස්වභාවයට පත්වුණත් ඉපදුන අළුත දරුවෙක්ගේ සම ඉතාම මෘදුයි. සිනිඳුයි. ඒ නිසා ඇඳුම් තේරීමේදීත් ඒ ගැන වැඩි අවධානයක් දැක්විය යුතුයි. පුංචි දරුවන්ට ඇඳුම් මිලදී ගැනීමේදී ගොඩක් වෙලාවලදී දරුවාගේ වයසට අනුව ඇඳුම් තේරුවත් කළ යුත්තේ දරුවාගේ බර අනුව ඇඳුම් මිලදී ගැනීම බව ඒ පිළිබඳ විශේෂඥයන්ගේ අදහසයි.

ඒ වගේම ඇඳුම් තෝරා ගැනීමේදී ජීවත්වන දේශගුණයේ ස්වභාවය ගැනත් විශේෂ අවධානයක් දැක්විය යුතුයි. වඩාත් උණුසුම් දේශගුණයක් පවතින ප්‍රදේශයක සහ කවර දේශගුණයක් පවතින ප්‍රදේශයක වුවත් වඩාත් ගැලපෙන්නේ කපු මිශ්‍ර ඇඳුම් සහ ඇතිරිලි තෝරා ගැනීමයි. කපු ඇඳුම් වලින් පහසුවෙන් වාතය ගමන් කරන නිසාම ශරීරයේ උණුසුම අනවශ්‍ය ප්‍රමාණයට වඩා පවතින්නේ නැහැ. ඒ වගේම කපු ඇඳුම් ඉක්මනින් වේලා ගන්නත් පුළුවන් නිසාම ඉක්මනින් කිලිටි වන ඇඳුම් නිතර නිතර මාරු කිරීමත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ඒ වගේම කපු රෙදි වලට ඉක්මනින් තෙතමනය උරා ගන්නා නිසා දරුවා තෙත මාත්තු කිරීමටත් කපු රෙදි යොදා ගැනීම සුදුසුයි. ඒ වගේම කපු කියන්නේ එතරම් මිල අධික රෙදි වර්ගයක් නොවන නිසා පසුම්බියටත් වාසිදායකයි. අවශ්‍යනම් භාවිතයට නොගන්නා කපු සාරි වලින් පවා දරුවාට අවශ්‍ය නැපි පහසුවෙන් මසා ගන්න පුළුවන්. අළුත උපන් බිළිඳුන් නිතර නිතර නැපි කිලිටි කරගන්නා නිසා සාරි හෝ භාවිතයෙන් ඉවත් කළ කපු ඇඳුම් වලින් මසා ගන්නා නැපි කිහිපයක් තබා ගැනීමට හැකි නම් වැසි කාලයේදී ඇති වන රෙදි වියලා ගැනීමේ ප්‍රශ්නයත් සරලව විසදා ගත හැකියි. ඒ වගේම සියයට වැඩි ප්‍රතිශතයක් කපු වලින් නිමවූ ඇඳුම් භාවිත කරනවා නම් දරුවන්ට නිතර වැළදෙන නැපි රූෂ් වගේ සමේ ආසාදන අවම කරගන්නත් උදවු වෙනවා.

තරමක් සීතල දේශගුණයක් පවතින ප්‍රදේශයක නම් උණුසුම රදවා ගන්නා වූල්, සිල්ක් එහෙමත් නැත්නම් ලිනන් වගේ රෙදි වර්ග වලින් මැසූ ඇඳුම් පැටියාට ඇන්දවීමෙන් උණුසුම ආරක්ෂා කර ගැනීම පහසු වෙනවා.

ගොඩක් දෙනෙක් අළුතින් මිලදී ගන්නා ඇඳුම් වල නැවුම් ගතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඒවා සේදීමෙන් තොරව ඇඳීමට පුරුදු වී සිටිනවා. නමුත් මෙය එතරම් සුදුසු දෙයක් නොවේ. ඇඳුමක් නිෂ්පාදනය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියේදී මෙම ඇඳුම් වලට විවිධ රසායන ද්‍රව්‍ය එක් කරනවා. මෙම රසායන ද්‍රව්‍ය දරුවාට විවිධ ආසාදන ඇති කිරීමේ අවධානමක් තියනවා. ඒ වගේම දරුවන් මේ ඇඳුම් වල කොටස් කටේ පවා දැමීමට උත්සාහ ගන්නා නිසා වඩාත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම දරුවන්ගේ ඇඳුම් සේදීමේදී ඒවා වැඩිහිටියන්ගේ ඇඳුම් වලින් වෙන් කර සේදීමට සෑම විටම උත්සාහ දැරිය යුතුයි. නිතර නිතර පොදු වාහන වල හා නිවසෙන් පිට රැදෙන වැඩිහිටියන්ගේ ඇඳුම් වල විවිධ අහිතකර ද්‍රව්‍ය රැඳී තිබෙන්න පුළුවන්. ඒ වගේම සේදීමේදී පවා ඉතා සැර සේදුම්කාරක වෙනුවට මෘදු සෙදුම්කාරක යොදා ගැනීම වඩාත් සුදුසුයි. ළමා ඇඳුම් වේලීමේදී තද අව්වේ වෙනුවට පවනේ වේලාගැනීමෙන් ඒවාගේ මෘදු බව ආරක්ෂා කර ගන්න පුළුවන්.

ඇඳුම් වේලීමේදීද නිතරම පොළවට ඉහලින් බඳින ලද රෙදි වැලක කටු ගසා සුළගේ නොයන සේ රැඳවීමෙන් සතුන්ගේ අපද්‍රව්‍ය මුසු වීමෙන් වළක්වා ගත හැකියි. මව්වරුන් ඇතැම් අවස්ථාවලදී තමාගේ පහසුව සළකා දරුවන්ට ඩ්රයිපර් ඇන්දවීමට පුරුදු වී සිටියත් එය එතරම් සුදුසු වන්නේ නැහැ. මේ ඩ්රයිපර් සකසන්නේ පැය තුනක හෝ හතරක කාලයක් සඳහා පමණක් වුවත් ඒ කාලයට වැඩි කාලයක් පවා එකම ඩ්රයිපරය අන්දවා තබන අවස්ථා තිබෙනවා. නමුත් ඒ වෙනුවට සෑම විටම දරුවාට කපු නැපියක් ඇන්දවා කිලි වූ පසු මාරු කිරීමෙන් සමේ ආසාදන ගණනාවක් වළක්වාගන්න පුළුවන්

දරුවන් වැඩෙත්ම ඔවුන්ගේ ඇඳුම්ද වෙනස් කළ යුතුයි. දණගෑම ආරම්භ කිරීමෙන් පසුව තරමක් ගණැති රෙදි වලින් මසන ලද දිග කලිසම් ඇන්දවීමෙන් කකුල් සීරිමෙන් වලක්වා ගැනීමට පුළුවන්. එසේම ඔවුන් ඇවිදීමට උත්සාහ දරන කාලයේ පැටලීමක් නොවන කොට කලිසම් වැනි ඇඳුම් ඇන්දවීම සුදුසුයි. දරුවා වයසින් වැඩීමත් සමඟම ඔවුන්ගේ ඇඳුම් ඔවුන්ටම මාරුකර ගන්න පුරුදු කිරීමෙන් මවට තමන්ගේ කාලය ඉතිරි කරගන්න පුළුවන්,

දරුවන් සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී වඩාත් ඇඟට හිර වන තද වන ඇඳුම් ඇන්දවීම අපහසුතාවයක් දනවනවා. ඒ වගේම වඩා ලිහිල් ශරීර ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් වඩාත් විශාල ඇඳුම් වුවද ගැලපෙන්නේ නැහැ. දරුවාට සැහැල්ලු ඇඳුම් ඇන්දවීම වඩාත් සුදුසුයි. එසේම කටු, බොත්තම්, සීක්වින්ස් සහ සිප්, ලේබල් වැනි දේවලින් පිරුණු ඇඳුම් සහ ඉතා තදැති ඉලාස්ටික් සහිත ඇඳුම් තෝරා නොගැනීමටද වග බලා ගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී වෙළඳපොළේ දරුවාගේ බෙල්ලට තද වන ඇඳුම් ඇතත් මේවා මිලදී ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඇඳුමක් ඇන්දවීමෙදී සහ ගැලවීමේදී අපහසුවක් නොදැනේ නම් එවන් ඇඳුම් සුදුසුයි. ඉපදී මාස කිහිපයක් ගත වන තුරුම අතට අසු වන ඕනෑම දෙයක් කටේ දමා ගන්නා බැවින් ඇඳුම් මිලදී ගැනීමේදී ඒ පිළිබඳවද විශේෂ අවධානය දැක්විය යුතු වෙනවා.

දියණියක් සිටින මව්වරු ඔවුන්ගේ හිසකෙස් විලාසිතා පිළිබඳව වැඩි අවධානයක් දක්වනවා. නමුත් හිසකෙස් කැපීමෙදී දරුවාගේ ඇස් වැසෙන විලාසිතා තොරාගැනීමෙන් දරුවාට නිවැරදිව දැකගැනීමට නොහැකි වීමෙන් ඇස් ආබාධ පවා ඇතිවන බව අම්මලා දන්නේ නැහැ. තදැති “හෙයා බෑන්ඩ්” කොණ්ඩා කටු පැළඳ සිටීමත් දරුවන්ට අපහසු වුවත් බොහෝ විට එය සන්නිවේනය කරන්න පවා ඔවුන් දන්නේ නැහැ. පාවහන් වුවත් තෝරා ගැනීමේදී සැහැල්ලු කකුලට හිර නොවන පාවහන් තෝරාගැනීමෙන් පාවහන් වලට සිදු වන තුවාල සහ වැටීමෙන් වන තුවාල අවම කර ගැනීමට පුලුවන්.

ඉතින් පුංචි දරුවන්ට ඇඳුම් තෝරද්දී අම්මලා තාත්තලා ඒ ඇඳුම් වල පාට හැඩය ලස්සන ගැන විතරක්ම හිතලා මදි. ඒ ඇඳුම් කොයිතරම් ආරක්ෂාකාරීද නැත්නම් පැටියාට කොයිතරම් පහසුද ගැලපෙනවාද කියලත් විශේෂ අවධානයක් දක්වන්න වෙනවා.

සටහන අරුණි ජයසේකර