free stats

අපි අහල තියෙනවා කතාවක් අලියන්ට ළමයින් ට නලියන්ටමයි හිත කියලා. ඉතින් අන්න ඒ වගේ පුංචි ළමයි කියන්නෙම කොහොමත් දගකරන පිරිසක්. අස් කරලා තියෙන කාමරයක් අනිත් පැත්ත පෙරලන්න මේ අයට යන්නේ හරිම පොඩි කාලයක්. නොකා නොබී උනත් දවස පුරාම දගවැඩ කරන්න පුංචි ඈයෝ හරිම දක්ෂයි. මෙන්න මේ දගකාරකම් නිසාම අපේ අම්මලා ඉන්නේ ලොකු මානසික පිඩනයකින්.

මේ කාරණය අද වෙනකොට බහුතරයක් අම්මලා මුහුණ දෙන අත්දැකීමක් බවට පත්වෙලා. ඉතින් ඒ නිසාම අද අපි අම්මලාගේ මේ මානසික පීඩනය අවම කරන්නේ කොහොමද කියලා අවදානය යොමුකරන්න හිතුවා.

අපි දන්නවා පුංචි පැටවුන් ඉන්න ගෙදරක් නම් ඒ ගෙදර උදවියට එයාගේ දගකාරකම් බලලා ඉවරයක් නෑ. ඒ වගේමයි අස්පස් කරලා ඉවරයකුත් නෑ. කොහොම උනත් පුංචි පැටියෙක් උස් මහත් කිරීමේ වගකීම පැවරෙන්නෙත් මවට හෝ පියාට පමණක් නොවෙයි. ඒ වගකීම දෙදෙනාගේම සාමූහික වගකීමක් විය යුතුමයි. එහෙම නොවුණ තැන තමයි පුංචි පැටවුන්ගේ ක්‍රියාකාරකම් එක්ක අම්මලා ගොඩක් මානසික පීඩනයට ලක් වෙන්නේ. නමුත් අද බොහෝ පවුල් තුල මෙය සිදු වෙන්නේ නැහැ. මේ කාරණාව මව්වරුන් මතම පැටවෙන වගකීමක් බවට පත්වෙලා.

අද බොහෝ වෙලාවට සමාජයේ මව සහ පියා යන දෙදෙනාම රැකියාවල නිරත වීම අද සුලබ සිදුවීමක්. ඉතින් මේ නිසාම දෙදෙනාම කාර්යබහුලයි. නමුත් රාජකාරියෙන් පසුව ගෙදර පැමිණෙන බිරිඳ නැවතත් දරුවන්ගේ කටයුතු ක්‍රියාකාරකම් එක්ක කාර්යබහුල වෙනවා. නිවාඩුවක් ඉස්පාසුවක් ඇත්තෙම නෑ. රැකියා කරන අපේ අම්මලා විතරක් නෙමෙයි නිවසට වෙලා පුංචි දරුවන් රැකබලා ගන්න අම්මලා උනත් එයාලත් එක්ක හරිම කාර්යබහුලයි. සමහර වෙලාවට තමන්ගේ වැඩ කටයුතු කරගන්න වත් අම්මලාට වෙලාවක් නෑ. ඉතින් මෙන්න මේ හේතු නිසාම අපි අහලා තියෙනවා

මගේ ඔලුව නම් යකාගේ කම්මල වගේ
මෙයාගේ දඟකාරකම් ඉවරයක් නෑ
මට හරිම මහන්සි
ඔලුවට නිදහසක් නෑ

ඔන්න ඔය වගේ මැසිවිලි.

ඇතැම් පුංචි දරුවෝ හරිම දඟයි. ඒ සාමාන්‍ය තත්ත්වයකට එහා ගිය අධික දඟ ස්වභාවයක් වෙන්නත් පුළුවන්. එක දෙයකට අවධානය යොමු කරගෙන සිටීම ඒ අයට හරිම අපහසුයි. හරිම ආවේගශීලීයි. නිතරම උඩ නගිනවා, බිම පෙරලෙනවා, නිවසේ තියෙන බඩු මුට්ටු විසි කරනවා ඒ වගේම අඬලා ජය ගන්න හදනවා. ඇතැම් වෙලාවට මේ අය නිවසින් පිටතට ගියත් මේ දඟ ස්වභාවය එලෙසමයි.

මේ වගේ දඟ මලු මට්ටු කරන්න වගේම අපේ අම්මලාට ඇතිවන මානසික පීඩනය අවම කරන්නත් අපි අනිවාර්යෙන්ම ඔවුන්ගේ මේ ක්‍රියාකාරකම් අවබෝධ කරගත යුතුයි. ඉතින් මේ කාරණාවේදී හොඳම දේ වෙන්නේ පුංචි පැටවුන්ගේ මේ දඟවැඩ නොදැක්කා වගේ ඉන්න එක. එකපාරින්ම පුංචි පැටියෙක් යම් දෙයකට යටත් නොවුනත් අම්මලාගේ ප්‍රතිචාර නැති තැන ඒ දේවල් ඉබේම නැතිවෙලා යන්න පුළුවන්. ඒ වගේමයි ආදරණීය විදිහට තේරුම් කරලා දෙන්න හැකියාව තියනවා . හැබැයි මෙහිදී එපා කියන වචනය භාවිතා කරනවා වෙනුවට ආදරණීයම පවසන්න හැකියාව තියෙනවා.

අපි දන්නවා පිටරටවල මවුවරුන්ට දරුවන් නිසා ඇතිවන මානසික පීඩනය අවම කරන්න විවිධාකාර ක්‍රම භාවිතා කරනවා. නමුත් අපට පුළුවන් ඒ සඳහා අපිටම ආවේණික ක්‍රම භාවිත කරන්න. ආගම දහම කියන්නේ ඉතින් කොයි අවස්ථාවකදී වුණත් අපිට පිහිට වෙන දෙයක්නේ. මේ නිසා ආගමානුකූලව ජීවත් වීම මානසික ආතතිය දුරු කරන්න ඉතාම යෝග්‍ය ක්‍රමවේදයක් වෙනවා. හැකි සෑම විටම බණ භාවනා කටයුතු කෙරෙහි යොමු වීම කළ හැකියි. මේ සඳහා ඔබට කාලයක් නෑ මෙයාලත් එක්ක ඕව කරන්නේ කොහොමද කියනවට වඩා පුංචි කාලයක් හරි ඒ වෙනුවෙන් කැප කිරීම ඉතාමත් වැදගත්. පුංචි පැටියෙක් නිදාගන්න වෙලාව වුණත් මේ සඳහා භාවිත කළ හැකියි. අපි දන්නවා ඒ මගින් විශාල සහනයක් අපේ සිතට ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි නොහික්මුණ පුංචි දඟ මලත් එක්කම වුණත් ආගමික කටයුතුවල නිරත වීම වගේ දේවල් කරන්න පුලුවන්. වැදගත් වෙන්නේ මේ වගේ වෙලාවකදි පුංචි දරුවන් සූක්ෂම ලෙස මේ දේවල් වලට නැඹුරු කර ගැනීමයි.

ඒ වගේමයි ඔබ රැකියාවක් කරන කාන්තාවක් නම් සති අන්තයේ දිනයක් එහෙමත් නැත්නම් සතියේ දිනයක් තෝරගෙන ටිකක් ඇවිදින්න යන්න පුළුවන්. කාන්තාවගේ මානසික පීඩනය අවම කර ගන්නට එය ඉවහල් වෙනවා. ඇතැම්විට වෙනස් පරිසරයක් වෙත යොමු වෙන ඔබේ පුංචි පැටියාගේ ක්‍රියාකාරකම් උනත් මේ වගේ අවස්ථාවක් නිසා සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකියි.

අපි දන්නවා මානසික නිදහස කියන්නේ ඕනම කෙනෙක්ගෙ සතුට. ඉතින් මෙන්න මේ නිසා අපේ සතුට රැකගන්න කාන්තාවක් විදියට අපිත් ටිකක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. පුංචි දරුවන් නිසාම තමන් ගැන නො සැලකිල්ලෙන් සිටීම මගින් මානසික ආතතිය වැඩි වශයෙන් කාන්තාවන් තුල හටගැනීමට අවකාශය තියෙනව.

මොනවද අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන්.

  • අපේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් වීම.
  • ව්‍යායාම කිරීම සඳහා කෙටි වේලාවක් හෝ යෙදවීම.
  • සිත සැහැල්ලු කර ගැනීම සඳහා විනෝදකාමී ක්‍රමයන් අනුගමනය කිරීම.

මේ අතරින් සුවිශේෂී කරුණු විදිහට සලකන්න පුළුවන්. අපි දන්නවා පුංචි දරුවන්ගේ කටයුතු එක්ක අපේ අම්මලා හරිහැටි ආහාර ගැනීම බොහෝ වෙලාවට මගේ ඇරගන්නවා. නමුත් කෙටි ආහාර, පැණි බීම, ලුණු, තෙල් ආහාරවලින් වැළකිලා සමබර ආහාර වේලක් ගැනීම වැදගත් වෙනවා. මේ මගින් අපේ ශරීර සුවතාවය වගේම මානසික සුවතාවයත් යහපත්ව පවත්වා ගන්න හැකියාව උදා වෙනවා.

ඒ වගේමයි ව්‍යායාම කියන්නේ අපේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යම දෙයක්. මානසික ආතතිය අවම කරන්න වගේම විෂාදය හසුරුවන්නත් ව්‍යායාම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා කාන්තාවක් විදියට පුංචි දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා අපට ඇතිවන මානසික ආතතිය දුරු කරගන්න ව්‍යායාම වල නිරත වීමත් සිදු කළ හැකියි. මීළඟ දේ තමයි විනෝදකාමී ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීම. මේ සඳහා පුංචි දරුවන් එක්කම ගීත ගායනය, චිත්‍ර ඇඳීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මල් පැළයක් සිටුවන්න, ගෙමිදුල අතුගාන්න මෙන්න මේ වගේ පුංචිම දේවල් වලට වුණත් තමන්ගේ දරුවන්ව හවුල් කරගන්න ගමන්ම අපේ කාර්යයක් සිදුකර ගැනීමේ හැකියාව තියෙනවා.

මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් ඉවහල් කරගෙන අපේ දරුවන් නිසා කාන්තාවන්ට ඇතිවන මානසික ආතතියට සහනයක් ලබාගත හැකියි.

පුංචි දරුවන් කියන්නේ කොහොමත් මනස වර්ධනය වෙමින් පවතින පිරිසකි. ඒ අයගෙ ක්‍රියාකාරකම් බොහෝවිට වැඩිහිටියන් වගේ නැහැ. කලබලකාරී ආවේගශීලී ඒ වගේම අපේ මනස අවුල් කරන ක්‍රියාකාරකම් තමයි ඔවුන් අතින් සිදු වෙන්නේ. මෙන්න මේ බව වටහා ගෙන අපි අපිට ඇතිවන මානසික පීඩනය අවම කරගන්නට කටයුතු කල යුතුයි. එමගින් නිතැතින්ම මානසික සහනයක් උදා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සටහන නදීශා ගයානි ගුණතිලක