free stats

ගැබිනි මවක් යනු තවත් අලුත් ජීවිතයකට උපත ලබා දෙන්න සූදානම් වෙන වටිනා සම්පතකි. මව්වරුන්ටත් දරුවන්ටත් විවිධාකාර ලෙඩ රෝග නිසා සෞඛ්‍ය තර්ජන ඇති වේ.වෛරස් ආසාදනද එවැනි තවත් එක රෝග තත්වයකි. මේ තත්ව ගැන පූර්ව දැනුම්වත් වීමක් සහිතව සිටීම මවක් ලෙස ඔබට ඉතාම වැදගත්ය. ලෙඩ රෝග වලින් තොරව එයින් ආරක්ෂා වෙන්න පුළුවන් නම් එය ඔබට සතුටක්.

අම්මලටත්, පුංචි පැටවුන්ටත් වැලදෙන්න පුළුවන් වෛරස් ආසාදන මොනවද ?

  1. Respiratory Syncytial Virusමෙම වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ කෙල බිඳිති, සෙම් සොටු ආදියෙන් නිරෝගී අයෙකුට බෝ වීම සිදුවේ.

රෝග ලක්ෂණ
සෙම්ප්‍රතිශ්‍යාව , උණ, හුස්ම ගැනීමේ අපහසුතාව, හතිය වැනි රෝග ලක්ෂණ මෙහිදී දකින්නට හැකියි.

  1. සරම්ප

ඉතා සීඝ්‍රයෙන් බෝ විය හැකි වෛරසයකි. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙලෙහි මෙම රෝගය වැලැක්වීම සඳහා සෑම දරුවෙකුටම ඵඵඍ එන්නත මාස 9 න් සහ අවුරුදු 3 වන විට පියවර දෙකකදී ලබා දේ.

රෝග ලක්ෂණ
තද උණ , සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ශරීරයේ ඇතිවන කුඩා රතු පැල්ලම්, ඇස් රතු වීම.

  1. පැපොල (Varicella)

Varicella Zoster නම් වෛරසය නිසා මෙම රෝගය ඇතිවේ. ආසාදිත පුද්ගලයෙකු සමග කෙලින්ම සම්බන්ධතා පැවැත්වීමෙන් බෝ වීම සිදුවේ. ගර්භණී කාන්තාවන්ට හා අලුත උපන් බිලිඳුන්ටත් , රෝගීන් වැනි අඩු ප්‍රතිශක්තිකරණයක් සහිත පිරිස් වලට මෙය බරපතලව බලපෑ හැකියි. ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස, කිවිසීම් මගින් වෛරස ව්‍යාප්තිය සිදුවේ. එසේම බිබිලි වල ඇති තරලය නිරෝගී අයෙකුට ස්පර්ශ වීමෙන් මෙම රෝගය වැල⁣ඳේ. වියලී ගිය බිබිලි වලින් ආසාදනයක් සිදු නොවේ.

සම මතුපිට බිබිලි මතු වූ දින පටන් සතියක් පමණ යනතුරු එම බිබිලි මගින් වෛරසය තවත් අයෙකුට ආසාදනය සිදු වේ. රෝග ලක්ෂණ මතුවන්නේ දින 10 සිට 20 දක්වා කාලය අතරතුරය.

රෝග ලක්ෂණ
කුඩා දරුවන්ට නම් පලමුව උණ ඇතිවේ. කැස්ස, උගුරේ වේදනාව, හිසරදය හා ආහාර අරුචිය වැනි ලක්ෂණ පොදුවේ ඕනෑම වයස් සීමාවක අයෙකුට වැලඳීමට ඉඩ තිබේ. සම මතුපිට රත් පැහැති ලප ඇති වීම දින දෙකකින් පසුව සිදුවේ.

මේ සඳහා එන්නතක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය අංශයෙන් ලබා ගත හැකිය. නමුත් මේ සඳහා වන එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ අඩංගු නැත.

  1. Croup ( වියලි කැස්ස සහිත රෝගයකි)

මෙය ශ්වසන පද්ධතිය ආශ්‍රය කරගනිමින් සෑදෙන වෛරසයකි. මෙම වෛරසය නිසා හඬ
ගොරෝසු වේ. ස්වර තන්ත්‍ර ඉදිමීම මීට හේතුවයි. උගුර බැරැන්ඩි වීම ලෙස සාමාන්‍යයෙන් මෙහි රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකියි.

මෙයද බෝවෙන රෝගයක් වන අතර ආසාදිතයා සමග ඇති සෘජු මානව සබඳතා හා ආසාදිත පුද්ගලයාගෙ කැස්ස හා කිවිසීම් මගින් වෛරස විසබීජය ව්‍යාප්ත වේ. දින 5 සිට 6 දක්වා මෙම රෝගයේ ව්‍යාප්ති අවධිය ලෙස හදුනා ගත හැකියි.

රෝග ලක්ෂණ
රාත්‍රි කාලයේදී උගුර බැරැන්ඩිය උග්‍රව පැවතීම, කැස්සත් සමඟ ඇති වන ශ්වසන අපහසුතා, සෙම්ප්‍රතිශ්‍යාව

ආසාදිත පුද්ගලයා සමග සබඳතා වලින් වැලකී නිතර අත් සබන් යොදා සේදීම ආදි සනීපාරක්ෂක පුරුදු මගින් රෝගය පැතිරයාම වැලකේ.

  1. පාචනය (Rota Virus)

පාචනයද බෝ වන රෝගයකි. අපිරිසිදු ජලය හා ආහාර පරිභෝජනය නිසා මෙම රෝගය වැල⁣ඳේ.

රෝග ලක්ෂණ
වමනය, උණ , වරින් වර දියරමය මල පිට වීම.
වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත් සේදීම, පෞද්ගලික පිරිසිදු බව තබා ගැනීම හරහා මෙම තත්වයෙන් මිදිය හැකියි.

මීට එන්නතක් පෞද්ගලික සෞඛ්‍ය අංශයෙන් ලබා ගත හැක.

  1. E’Coli ආසාදන (Escherichia Coli)

මෙය මිනිස් හා සත්ත්ව සිරුර වල බඩවැල් තුල ජීවත් වන බැක්ටීරියාවකි. ඇතැම් E Coli බැක්ටීරියා භයානක නැත. මෙම බැක්ටීරියාව ආසාදනය වන්නේ අපිරිසිදු ආහාර ( බාගෙට තැම්බු මස් වර්ග, පැස්චරීකරණය නොකල කිරි , සනීපාරක්ෂක ක්‍රමවේද භාවිතා නොකර සකස් කරන ලද ආහාර ) මගින් හා සතුන්ගේ හෝ මිනිස් මල මුත්‍ර නිසා අපවිත්‍ර වූ ජලය මගිනි. E Coli ආසාදනය වූ පසු රෝග ලක්ෂණ සතියක පමණ කාලයක් තුල පවතී. ගැබිනි මව්වරුන් හා කුඩා බිලිඳුන් වැනි ප්‍රතිශක්තිකරණය අඩු අයට මේ රෝගය ඉක්මනින් ආසාදනය වේ.

රෝග ලක්ෂණ
මස්පිඩු පෙරලීම, ඔක්කාරය හා වමනය

මෙම බැක්ටීරියා ආසාදනයෙන් වැලකීමට නම් වැසිකිලි භාවිතයෙන් පසු දෑත් සබන් යොදා පිරිසිදු කරගැනීම, ආසාදිත අයගෙන් ඈත්ව සිටීම සිදු කල යුතුයි. ඔබේ ප්‍රතිශක්තිකරණය උසස් මට්ටමක පවතීනම් මෙම ආසාදනය වැලඳීමෙන් මිදිය හැකියි.

7.  Hemophillus Influenza Type B (HIB)

HIB ලෙස හඳුන්වන්නේ අවුරුදු පහට අඩු ලදරුවන්ට බලපාන බැක්ටීරියා ආසාදනයකි. මෙම බැක්ටීරියාව නාසයේ හා උගුරේ දකින්නට ඇති අතර මොලය වැනි ප්‍රදේශ වලටද මෙම විෂබිජය පැතිරිය හැකියි.

ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස හා කිවිසීම මගින් පිටවන බිඳිති හරහා තවත් අයෙකුට මෙම රෝගය සම්ප්‍රේෂණය වේ. Hemophillus Influenza බැක්ටීරියාව විවිධාකාර වර්ග හයකින් යුතුය. A සිට F දක්වා එම බැක්ටීරියා කාණ්ඩ ඇති අතර ඉන් B වර්ගය වඩාත් මාරාන්තික වේ. Hib දරුවන්ගේ මොලේ උණ හෙවත් මෙනින්ජයිටීස් රෝගය සෑදීමටද ප්‍රධාන හේතුවකි.

රෝගය හඳුනා ගැනීමට හැක්කේ රුධිර පරික්ෂණයකිනි. ආසාදිතයෙකු බව තහවුරු වූ පසු රෝහල් ගත කල යුතුයි.

රෝග ලක්ෂණ – උණ, අවධානය අඩුවීම, ශ්වසන ගැටලු , සන්ධි වේදනාව ආදිය ඇතිවේ. Hib ආසාදනය වී රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වී පෙනහලු හා මොලයට පැතිර ගිය විට බරපතල තත්ව ඇති වේ. රෝගය සුව කිරීමට එන්නත් කිරීම සිදු කරයි.

8. ඇස් ලෙඩ

බාල ,වැඩිහිටි කාටත් මෙම රෝගය බෝ විය හැකිය. බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක්, ආසාත්මිකතාවක් හෝ ඇසේ ඇති වන තුවාලයක් නිසා conjunctiva නම් ඇස් බෝලයේ ඇති පටලය ආසාදනය වීම නිසා ඇස් රෝගය සෑදේ. මෙය ඉක්මනින් බෝ වන රෝගයකි. ආසාදිත අයෙකු සමග පවත්වන සෘජු සබඳතා හා ස්පර්ශය මගින් මෙය ව්‍යාප්ත වේ. මෙම රෝගයේදී ඇස් වලින් කබ හා කඳුලු පිට වීම නිතර සිදුවේ.

රෝග ලක්ෂණ –
එක් ඇසකින් හෝ දෙකෙන්ම කඳුලු හා කබ පිට වීම, සුදු හෝ කහ පැහැ ස්‍රාව පිට වීම, ඇස් කැසීම හා රතු වීම, කෙවෙන ගතිය, බොඳ වී පෙනීම

නිතර අත් සේදීම, සනීපාරක්ෂක පුරුදු භාවිතය, දෑස් කසන විට අතින් ඇඟිලි වලින් ඇස් ස්පර්ශ නොකිරීම වැනි ක්‍රියාමාර්ග හරහා මෙම රෝගය සුව කර ගැනීමටත්, රෝගයෙන් වැලකීමටත් හැකියි.

9. කම්මුල්ගාය

මෙය ඉතා ඉක්මනින් බෝ වෙන රෝගයකි. Parotid නම් ඛේට ග්‍රන්ථි වල ඇති වේදනාත්මක ඉදිමුම නිසා මෙම තත්වය ඇති වේ. කම්මුල්ගාය වෙනත් රෝගවලටද ඇතැම් විට බලපානු ලබයි. මෙනින්ජයිටීස් , වෘෂණ කෝෂ, ඩිම්බ කෝෂ වල සංකූලතා ඉන් කීපයකි. ආසාදිත පුද්ගලයෙකු ස්පර්ශ කිරීම හෝ ආසාදිතයාගේ කැස්ස හා කිවිසීම් මගින් පිටවන බිඳිති හරහා මෙය තවත් අයට බෝ වේ.

රෝග ලක්ෂණ

-උණ , හකු හා කම්මුල් ඉදිමීම, හක්කේ වේදනාව, කන් කැක්කුම, හිස කැක්කුම, ආහාර අරුචිය, වෙහෙසකර බව, උගුරේ අමාරුව හා ඇතැම් විට වමනය යාම. සරම්ප හා රුබෙල්ලා රෝගයට ලබා දෙන පපර නම් එන්නත මගින් කම්මුල්ගාය වලක්වා ගත හැකියි.

10. මෙනින්ජයිටිස් (මොලයේ උණ)

යම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් නිසා මොලය තුල හටගන්නා සංකූලතාවක් මෙහිදී ඇති වේ. මොලය හා කොඳු ඇට පෙල ආවරණය ඉදිමීමක් මෙහිදී දක්නට ලැබේ. නව යොවුන් හා කුඩා දරුවනුත් , ප්‍රතිශක්තිකරණය අඩු අයත් මෙනින්ජයිටිස් රෝගයට ඉක්මනින් ගොදුරු විය හැකියි. මෙය බෝ වන රෝගයකි. කැස්ස හා කිවිසීම් මගින් , ආසාදිත අයෙකු ස්පර්ශ කල පෘෂ්ඨයන් තවත් පුද්ගලයෙකු ස්පර්ශ කිරීමෙන්ද රෝග ව්‍යාප්තිය සිදුවේ.

රෝග ලක්ෂණ –
උණ, නිදිමත ගතිය, හිසරදය, වමනය, කුඩා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම හා සම මතුපිට බිබිලි ඇති වීමට ඉඩ ඇත.

මේ සඳහා  Hib” meningoccal and pneumococcal වලට ලබා දෙන එන්නත ලබා දේ.

  1. ඉන්ෆ්ලුවෙන්සා (උණ)

මෙය ශ්වසන පද්ධතියේ ඇතිවන වෛරස් ආසාදනයකි. ගර්භණී මව්වරුන් හා කුඩා බිලිඳුන්ට මෙම රෝගය ආසාදනය වීමේ ඉඩකඩ වැඩිය. දුර්වල ප්‍රතිශක්තිකරණය ඊට හේතුවයි. ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස හා කිවිසීම් මගින් විසිවෙන බිඳිති හරහාත් , ඔහු හෝ ඇය ස්පර්ශ කල පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන්ද රෝගය බෝ වේ.

රෝග ලක්ෂණ –
නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව , හිසරදය, උණ, ඇඟපත වේදනාව , කලාතුරකින් වමනය හා පාචනයද ඇතිවිය හැකියි.

මුඛ ආවරණ පැලඳීම, කිවිසින , කසින විට මුඛය ආවරණය කර ගැනීම, නිතර සබන් යොදා අත් සේදීම මෙම රෝග තත්වයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.

  1. අත් පා හා මුඛ රෝග – Hand, foot, mouth disease

දරුවන් අතර ඉතා සුලබව දකින්නට ලැබේ. මෙය Coxsacki virus මගින් සෑදේ. ආසාදිත පුද්ගලයෙකුගේ මුඛය, අත් පා වල ඇති බිබිලි මගින් මෙම වෛරසය බෝ වේ. මේ බිබිලි කැසීමකින් තොරය. බිය වීමට අවශ්‍ය නැති අතර සති දෙකක් වැනි කාලයක් තුල මෙය සුවවේ.

රෝග ලක්ෂණ
අත් පා හා මුඛය ආශ්‍රිතව බිබිලි හට ගැනීම, උණ, උගුරේ අමාරුව, ආහාර අරුචිය
මීට විශේෂ ප්‍රතිකාරයක් නැත. පෞද්ගලිකව ස්වස්ථතාව පවත්වා ගැනීම වැදගත් වේ.

  1. හෙපටයිටිස් A

    අක්මාවේ ඇති වන උග්‍ර ආසාදන තත්වයකි. දරුවන්ට හා වැඩිහිටි අයට මෙම රෝගය ආසාදනය
    වියහැකියි. දූෂිත ජලය හෝ ආහාර පරිභෝජනය , බාගෙට පිසූ සත්ත්ව ආහාර නිසා මෙම රෝගය බෝ වේ. විශේෂෙන්ම ආසාදිත අයෙකුගේ අසූචි හරහා හෙපටයිටිස් ් වැලඳිමේ ඉඩකඩ වැඩිය. වෛරසය ආසාදනය වූ විට අක්මාව තුල දැවිල්ලක් ඇති විය හැක.

රෝග ලක්ෂණ
ආහාර අරුචිය, උදර වේදනාව, සුදුමැලි වීම, මල හා මුත්‍රා වල පැහැය වෙනස් වීම, උණ, ඔක්කාරය

එන්නත් මගින් මෙම රෝගය සුව කල හැකිය.

වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය
ආයතන භාර වෛද්‍ය නිලධාරිනී
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය
කෙසෙල්වත්ත

සටහන කුමුදිකා සපුතන්ත්‍රි