free stats

පැටවුන්ගේ බුද්ධි වර්ධනය ගැන අපි නිරන්තරයෙන්ම කතා කරනවා. එහෙත් ඒ සඳහා ගත යුතු සමහර ක්‍රියාකාරකම් පිළිබඳව දෙමව්පියන් ඒ තරම් දුරට තැකීමක් කරනවාද කියන කාරණය අපි නැවත විමසා බැලිය යුතුයි. රැකියාවේ සහ නිවසේ රාජකාරි එක්ක ඉන්න අම්මලා දරුවන්ට ජංගම දුරකථනය අතට දීලා “ආ මේකෙන් සෙල්ලම් කරන්න” කියලා නිදහස් වෙන්න උත්සහ කරන්නේ එකට එක ගොඩ ගැසුණු වැඩ ටික පිළිවෙලක් කරන්න හිතලයි. නමුත් මෙයින් දරුවා තුළ ඔබ අපේක්‍ෂා කරන බුද්ධි වර්ධනයට මොන තරම් ප්‍රබල බාධාවක් සිදුවෙනවාද කියන කාරණය පිළිබඳව ඔබ තවම දන්නේ නැහැ.

කලහකාරි දරුවන්

දරුවන් වීඩියෝ ගේම් සහ නොයෙකුත් මාදිලියේ තිරවලට ඇබ්බැහි වී සිටිනවා. ජංගම දුරකථන, ටැබ් පරිගණක සහ රූපවාහිණිය පවා දරුවන්ගේ ඇබ්බැහි වීම් වලට හේතු-වක් වී අවසානයි. විශේෂයෙන් දෙමව්පියන් කාර්යබහුල නම් ඒ නිසාම තනිවන දරුවන් සහ දරුවා සමඟ සිටින කාලයට වඩා නිවසේ හෝ කාර්යාලයේ කටයුතු ගැන වැඩි අවධානයෙන් සිටින දෙමව්පියන්ගේ දරුවන් තිරවලට ඇබ්බැහි වීමේ ප්‍රමාණය ඉතාම වැඩියි. මේ නිසාම එක් පැත්තකින් ඔවුන් සාමාන්‍ය සමාජයෙන් දුරස් වනවා. අනෙක් පැත්තෙන් ඔවුන්
ප්‍රායෝගික බවෙන් ඈත් වෙනවා. දුරකථනයේ ඇති බොත්තමක් එඹු පමණින් සියල්ලම ක්‍රියාත්මක වන නිසා දරුවා සාමාන්‍ය පරිසරයට නිරාවරණය වූ විට සැනින් තමාට අවශ්‍ය දෙය බලාපොරොත්තු වනවා. නොලැබුණු විට කේන්තියට හෝ වේදනාවට පත් වෙනවා. එයින් අනවශ්‍ය ආතතියක් මෙන්ම කළහාකාරි ස්වාභාවයක් ද මතු වෙන්න පුළුවන්.

දරුවාට උවමනා දේ

අප සෑම විටම නිර්මාණය කළ යුත්තේ නිවැරදි දේ තෝරාගත හැකි, අවස්ථාව ලැබෙන තුරු ඉවසා සිටිය හැකි තරඟකාරි සමාජ රටාවට ගැලපෙන දරුවන් පමණයි. මේ සඳහා දරුවන් හුරු වන්නේ කුඩා කාලයේ ඔවුන් ලබන අත්දැකීම් තුළින්. විශේෂයෙන්ම දරුවන් ලබන බොහෝ අත්දැකීම් ඔහුගේ අනාගත ජීවිතය තීරණය කරනවා. ඒ වගේම දරුවන් අනුකරණයට ඉතාම දක්‍ෂයි. ඒ නිසාම ඔවුන් කුඩා කාලයේ මව හා පියා මෙන් රඟපාමින් සෙල්ලම් ගෙවල්වල ඉවුම් පිහුම්වල පවා නිරත වනවා. සමහර විට මවක් මෙන් දරුවන් වඩාගෙන සුරතල් කරමින්, ගුරුවරියක් මෙන් බෝනික්කන්ට උගන්වන දැරියන් ද සිටිනවා. මේ සියලු ක්‍රියාකාරකම් ළමා මනසට අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් දරුවාගේ මානසික සංවර්ධන උදෙසා බලපාන්නේ මෙවැනි තනිව සිතා කරන ක්‍රියාකාරකම් පමණයි. බොත්තමක් එඹු පමණින් යමක් ක්‍රියාත්මක වීමට බුද්ධිමය සිතීමක් හෝ වෙනත් තර්කානුකූල උත්සහ දැරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

දරුවන්ට ගැලපෙන සෙල්ලම්

ජන සමාජය තුළින් අපිට උරුම වු සමහර සෙල්ලම් තිබෙනවා. මේ සඳහා මිල අධික සෙල්ලම් බඩු අවශ්‍ය වන්නේ නැහැ. පංච දැමීම, ඔලිඳ සෙල්ලම, පොල්පිති ගොනෙක් සැකසීම, රුලං පෙති සෑදීම, කුරුම්බැට්ටි මැෂීම වැනි සෙල්ලම් මඟින් දරුවාගේ නිර්මාණශීලි හැකියාව වර්ධනය වනවා. එසේම දරුවන් තුළ ඉවසීම, තම අවස්ථාව ලැබෙන තුරු බලාසිටීම, ඒ වගේම සෙල්ලම් උපකරණ කැඩුණු විට එය දරාගැනීම, කිසිවක් සදාකාලික නොවන බව තේරුම් ගෙන ඉවසීම, අලුත් සෙල්ලම් බඩුවක් සාදාගන්නා තුරු බලා සිටීමේ ඉවසීම වර්ධනය වනවා. දරුවන් තුළ මෙවැනි හැඟීම් වර්ධනය කරන්නට අනවශ්‍ය වෙහෙසක් දරන්නට අවශ්‍ය නොවන්නේ අන්න ඒ නිසයි. දරුවන්ට අමුතුවෙන් ගුණධර්ම උගන්වන්නට වෙහෙසක් ගන්න අවශ්‍ය නොවන්නෙත් ඒ නිසයි.

දරුවාගේ නිසි වර්ධනයට පෙර

දරුවාගේ නිසි වර්ධනයට පෙරම ඉලෙක්ට්‍රොනික උපකරණවලට හා විද්‍යුත් තිරවලට ඇබ්බැහි වුවහොත් එයින් දරුවාගේ සිතීමේ හැකියාව වර්ධනය වීම අතරමඟ නතර වනවා. ඒ වගේම බුද්ධිමය හා සමාජගත වීමේ හැකියාව අඩාල වන අතර භාෂණ හැකියාවත් අඩාල වනවා. මුලින් සඳහන් කළ පරිදි දරුවන් තිරවලට ඇබ්බැහි වීම නිසා තනිවීමට ලක්වන අතර නිසි පරිදි භාෂා වර්ධනය වීමට පිරිසකගේ සහය නොලැබී යනවා. විශේෂයෙන් මව හා පියා සමඟ දරුවා කතා බහ නොකරන නිසා ත් අනෙක් අයගේ කතා බහට ඇහුම්කන් නොදෙන නිසාත් දරුවාගේ භාෂණ හැකියාව කිසිසේත්ම වර්ධනය නොවන්නටත් පුළුවන්.

එපා කියන්නේ කොහොමද

පුංචි දරුවන්ට හැමතිස්සෙම එපා කියන්න එපා කියන කතාව අපි අහලා තියෙනවා. නමුත් එපා දෙයක් එපා කියන එක කිසිම ගැටළුවක් නෙවෙයි. ඒ වගේම දරුවා සිටින වේලාවට ජංගම දුරකථන භාවිතා නොකර සිටීම හෝ දරුවා වැඩිවියට පත්වන තුරු ස්මාර්ට් දුරකථනවලින් ඈත්වී සිටීම තුළින් දරුවාට එපා කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. සමහර වීඩියෝ ගේම්, සමහර ඡායාරූප ප්‍රචණ්ඩ මුහුණුවරකින් යුතුයි. ඒ නිසා එවැනි දෙයින් දරුවා ඈත් කිරීමත් දෙමව්පියන්ගේ වගකීමක් වනවා. මෙහිදි රූපවාහිණියත් අදාලයි. රූපවාහිණීයේ පෙන්වන සමහර දර්ශන දරුවන්ට බැලීමට කොහෙත්ම සුදුසු දර්ශන නොවෙයි. මෙයින් දරුවාගේ මනස ප්‍රබල ලෙස කම්පනයට පත්වන්න පුළුවන්. එයින් දරුවා ආතතියට පත්වෙන්නත් ඉඩ තිබෙනවා.

දරුවා වෙනුවෙන්

ඔබට දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට අපහසු නම් දරුවාට ජංගම දුරකථන වෙනුවට වඩාත් සුදුසු විනෝදාංශයක් සොයා දෙන්න. චිත්‍ර ඇඳීම, පාට කිරිම, කවි කියවීම, ළමා පොත් හෝ රූප පොත් බැලීම වැනි අපූරු විනෝදාංශ මඟින් දරුවාගේ කියවීමේ රුචිය වර්ධනය වනවා. දැන් පාට කරන පොත් වෙළඳපලෙන් මිලට ගත හැකි නිසා මෙය වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පැතුම් දිසානායක
සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල
පේරාදෙණිය.

සටහන චාපා හංසිනි ආටිගල