ඔබට ඔබේ පුංචි කාලය මතක ද සමහර කාරණා මතක තිබ්බත් සියල්ලම මතක ඇති කියලා අපිට හිතන්න අමාරුයි. සමහර සුවිශේෂි සිදුවීම් වුණත් ඔබට පැහැදිව මතක නැහැ. ඔබේ මතකයේ තිබෙන්නේ එහි ඉතාම විශේෂිත කොටස් කිහිපයක් පමණයි. මෙය ඉතාම සාමාන්‍ය කාරණාවක්. අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අපිට අත්‍යවශ්‍යම දේ මතක තියාගන්න වගේම ඒ මතකයට ඉඩ හදාගැනීම සඳහා අනවශ්‍ය දේ අමතක කරන්නයි. ඒ අතරින් වඩාත් මතක හිටින්නේ කෙටි ඒ වගේම හැඟීම් සමඟ බද්ධ වුණු දේ පමණයි. ඒ වගේම සමහර අවස්ථා මොනතරම් වැදගත් වුණත් මතක හිටින්නේ ඒවායේ විශේෂම කොටස පමණයි.
අපි ඉතාම කුඩා කාලෙදි මුහුණ දෙන සිදුවීම් පිළිබඳව අපිට අවධානයක් නැහැ. වැඩිහිටියන් විදියට සිදුවීමක වටිනාකම අනුව එය මතක තබාගත යුතු ද නැද්ද කියලා අපිට අවබෝධයක් තිබෙනවා. නමුත් කුඩා කාලයේ දී අපිට එවැනි අවබෝධයක් නැහැ. ඒ වගේම සිදුවීම පිළිබඳව බුද්ධිමය විශ්ලේෂණයක් කරන්න තරම් පැසුණු මනසක් අපිට නැහැ. ඉතින් එවන් සිද්ධීන් අමතක වෙන්නේ නිරායාසයෙන්මයි.
අවුරුදු තුන සිට අවුරුදු පහ දක්වා කාලයේ දී දරුවෙකුගේ මනස සකස් වෙනවා. මේ කාලයේ දි අනවශ්‍ය ඒ වගේම භාවිතයෙන් තොර සෛල සියල්ල ඉවත් වෙනවා. ඇස කණ එක්වීමෙන් නිර්මාණය වන සන්නිවේදන සමායෝජන සිදුවෙන්න පටන් ගන්නේ දරුවාට අවුරුදු තුන වන විටයි. මේ කාලෙදි යම් සිදුවීමක් අපේ හැඟීම්වලට අනවශ්‍යයි කියලා අපිට හිතෙනවා නම් මොළය නිරායාසයෙන්ම ඒ හැඟීම අමතක කරලා දානවා. නමුත් අපිට යමක් මතක හිටිනවා නම් ඒ නිතර නිතර මතකයේ තිබෙන හෝ නිතර නිතර කතාවට ලක්වෙන දෙයක් විතරයි.
සරල උදාහරණයක් විදියට ගත්තාම ඔබ ශිෂ්‍යත්ව විභාගය සමත් බව ඔබට මතකයි. ඒ වැඩිහිටියන් ඔබට සුබ පැතුම් එක් කල නිසා. ඒ වගේම ශිෂ්‍යත්වය සමත් වීම ඔබ ඒ වයසේ දී ලබන විශාලම ජයග්‍රහණය නිසා සුවිශේෂී සිදුවීමක් විදියට ඔබට එය මතකයි. නමුත් ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න ගණිත ගැටළු එකක් හෝ ඔබට මතක ද? අඩුම වශයෙන් දැන් ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින්න කිව්වොත් ඔබට ඒ දැනුම තියෙනවා ද?
මතකය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. අපිට අවශ්‍ය සියල්ලම මතක තියාගන්න අපිට බැහැ. මතක තියාගන්න උවමනා කරන දේ හැරෙන්න අනෙකුත් භාවිතා නොකරන සියල්ල අමතක කර දැමීම මතකයේ කාර්යයක්. ඒ නිසා යමක් යම් පාඩමක් හෝ වෙනත් අත්‍යවශ්‍ය දෙයක් මතක තියාගන්න නම් ඒ සඳහා සුවිශේෂි යමක් එකතු කරන්න වෙනවා. ඒ වගේම කාරණය කෙටි වන තරමට මතක තියාගන්න පහසුයි. මේ නිසා තමයි අපි පාඩම් කරද්දි කෙටි සටහන්, එහෙමත් නැත්නම් ීයදරඑ භදඑැ හදන්නේ.
හුඟ දෙනෙක් පොඩි කාලේ දේවල් මතකයි කියලා කිව්වට ඇත්තටම අපිට හුඟක් වෙලාවට මතකයේ තියෙන්නේ අදාල සිදුවීම ගැන වැඩිහිටියන් කිව්ව දේවල් විතරයි. එතනදි වෙන්නේ සිදුවීම පිළිබඳව අපේ සිතේ ඇදෙන චිත්‍රය මතකයේ තැම්පත් වීම පමණයි. අපි ඒ මොහොතේ හිතින් යමක් මවාගන්නවා වෙන්නත් පුළුවන්. සත්‍ය අවස්ථාව ගැන ප්‍රාථමික මතකයක් අපිට තියෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද පුංචිම කාලෙදි අපිට විශේෂිත භාෂණ කුසලතාවයක් නැහැ. යමක් ගැන අපිට වැටහෙන පරිදි තේරුම් ගන්නවා මිස නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාවත් අපි තුළ නැහැ. ඒ වගේම අවධානය අඩුවීමත් අමතක වීමට හේතුවක්.
නමුත් කුඩා වියේ දී දරුවන්ගේ මනස ඉතාම පිරිසුදුයි. සමාජගත වීමක් නොමැති නිසාත් සමහර සිදුවීම් ගැන විශේෂ අවධානයක් නැති නිසාත් මනස තුළ සිතුවිලි තිබෙන්නේ ඉතාම අඩුවෙන්. කුඩා වියේ දී අවශ්‍යතා ඉතාම අවමයි. ඒ නිසා පුහුණු කලොත් වෙනත් යහපත් දෙයක් වෙනුවෙන් දරුවන්ගේ මනස මෙහෙයවන්න හරිම පහසුයි. විශේෂයෙන්ම විදෙස් භාෂා ඉගැන්වීම වැනි කාර්යයක් සඳහා මේ ක්‍රමය යොදාගන්නට පුළුවන්. ඔබ අදහන ආගමේ හෝ දර්ශනයේ සඳහන් මතක තබාගත යුතු කරුණු ධර්ම කරුණු බොහෝමයක් මේ ක්‍රමය මඟින් මතක තබාගන්න හැකියාව තිබෙනවා. විශේෂ සිදුවීම් සහ කතාන්දර කොටස් ආශ්‍රයෙන් යම් යම් දේ මතක තබාගන්නට දරුවන්ට හැකි බව අප දැන් දන්නවා. ඒ නිසා එවැනි උපක්‍රම ඔබට භාවිත කළ හැකියි.
“ඔයාට ඒකවත් මතක නැද්ඳ” කියලා තවදුරටත් දරුවන්ට කියන්න ඔබට බැහැ. මොකද අපේ මොළයේ ස්වාභාවය පිළිබඳව ඔබට දැන් අවබෝධයක් තිබෙනවා. ඉතින් මතකය කියන්නේ සාපේක්‍ෂ දෙයක්. එක් අයකුට මතක සිදුවීමම තවත් කෙනෙකුට අමතක වෙන්න පුළුවන්. එයට හේතුව ඒ පුද්ගලයාට ඒ සිදුවීම පිළිබඳව තිබෙන අවබෝධය, වැදගත්කම හා වටිනාකමයි. ඒ නිසා දරුවන්ගේ මතකයන් සංසන්දනය කරමින් බැන වදින්නට හෝ අගය කරන්නට ඔබට බැහැ. නමුත් ඒ වෙනුවට ඔබට ඔවුන්ගේ මතකයේ ස්වභාවය අනුව ප්‍රයෝජනවත් පරිදි යොදාගන්නට පුළුවන්කම තිබෙනවා.
සටහන චාපා හංසිනි ආටිගල
වෛද්‍ය රසිත පෙරේරා
ළමා සහ නව යොවුන් විය පිළිබඳ
විශේෂඥ මනෝ වෛද්‍ය
සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල
පේරාදෙණිය.