free stats

පළමු වසර කිහිපය තුළ අපි දරුවන්ගේ වර්ධනය හඳුනාගන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින්. මේ නිසාම ඇවිදීම, කතා කිරීම, වගේම දරුවාගේ අනෙක් ක්‍රියාකාරකම් අපිට බෙහෙවින් වැදගත් වෙනවා. ඔවුන්ගේ ඉතා සුළු වෙනස්වීම් දෙස පවා අපි විමසිල්ලෙන් බලා සිටින්නේ අන්න ඒ නිසයි. නමුත් පිරිමි සහ ගැහැණු වශයෙන් බෙදෙන දරුවන් අතර වර්ධනයේ දී වෙනස්කම් පවතිනවා. සමහර අවස්ථාවලදී ගැහැණු දරුවනුත් සමහර අවස්ථාවලදී පිරිමි දරුවනුත් විවිධ ක්‍රියාකාරකම් අතින් ඉදිරියෙන් මෙන්ම පසුපසින් ඉන්නත් පුළුවන්. නමුත් මෙයින් අදහස් වන්නේ ඒ ඒ දරුවන්ගේ ක්‍රියාකාරකම් සාපේක්‍ෂව ඉක්මන් හෝ ප්‍රමාදයි කියන එක නොවෙයි.

අන්න ඒ නිසාම පසුගිය දවසක එංගලන්ත ජාතික වෛද්‍යවරු පිරිසක් මේ පිළිබඳව පර්යේෂණයක් සිදුකළා. පහත දැක්වෙන්නේ ඒ පර්යේෂණයේ ප්‍රථිපලයයි. මෙය එම පර්යේෂණයේ ප්‍රථිපගලය මිස ඔබේ දරුවාගේ වර්ධනය පිළිබඳව වෛද්‍ය මතය නොවන නිසා මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ.

හැඟීම් අවබෝධ කරගැනීම / තේරුම් ගැනීම

ගැහැණු දරුවන්ට යම් පුද්ගලයෙකු මුහුණ දෙස බලා හැඟීම් තේරුම් ගැනීිමේ හැකියාවක් පවතින බව අධ්‍යනයන් මඟින් හෙලිකරගෙන තිබෙනවා. නමුත් පිරිමි දරුවන්ට මෙවැනි හැකියාවක් නැති බව තමයි මේ අධ්‍යනයෙන් වැඩිදුරටත් කියන්නේ. ඒ වගේම ගැහැණු ළමයින් තමන්ගේ දුක, සතුට වගේම අනෙකුත් හැඟීම් මුහුණෙන් පෙන්නුවත් පිරිමි දරුවන් බොහෝ විට සිය හැඟීම් සගවා ගන්නා බවත් මේ අධ්‍යනය වැඩිදුරටත් පවසනවා.

විශේෂ දක්‍ෂතා/ උපකරණ භාවිතය

යම් දෙයක් පිළිබඳව සුවිශේෂි දක්‍ෂතා දැක්වීම ගැහැණු දරුවන්ට ආවේණික බව පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා. විශේෂයෙන් යම් දෙයක ප්‍රමාණය, දිග සහ පළළ, යම් දෙයකට ඇති දුර ආදිය ඉක්මනින් මැන ගැනීමේ හැකියාව ගැහැණු දරුවන් සතුයි. නමුත් වයස මාස තුනේ දි පමණ පිරිමි දරුවෙකුට සිය සෙල්ලම් උපකරණ විවිධ දිශාවලට හැරවිය හැකි අතර ගැහැණු දරුවන්ට එවැනි හැකියාවක් නොමැති බවත් අධ්‍යනය මඟින් වැඩි දුරටත් පෙන්වා දෙනවා. ඒ වගේම ගණිතමය උපකරණ කෙරෙහි පිරිමි දරුවන් වැඩි උනන්දුවක් දක්වන බවත් අධ්‍යතනය කළ පර්යේෂකයන්ගේ අදහසයි.

සෙල්ලම් බඩුවලට ඇති කැමැත්ත

මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙන පරිදි පිරිමි දරුවන් බෝනික්කන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනවා. මේ නිසා ගැහැණු පිරිමි වශයෙන් සෙල්ලම් බඩු වෙන් කිරීමේ කිසිඳු ප්‍රයෝජනයක් නැහැ. බොහෝ දෙනා සිතන ආකාරයට “ගැහැණු දරුවන් තේ කෝප්ප කට්ටලයක් සමඟ සෙල්ලම් කරන අතර පිරිමි දරුවන් වඩාත් ප්‍රිය කරන්නේ ට්‍රක් රථ පැදවීමටය යන්න බොරුවක්” බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. ඒ වගේම ගැහැණු දරුවන් තමන් කැමති සෙල්ලම් බඩුව පිළිබඳව පිරිමි දරුවන්ට වඩා කැමැත්තෙන් අදහස් දක්වන බවත් ඔවුන් පවසනවා.

ශාරිරික ක්‍රියාකාරකම්

කුඩා දරුවන්ගේ ශාරිරික ක්‍රියාකාරම් ආරම්භ වන්නේ ඔවුන් කුස පිළිසිඳි අවධියේ බව මෙම පර්යේෂකයන් පිරිස පවසනවා. ඒ නිසාම අතිශය ක්‍රියාශීලි දරුවන් ලෙස මෙලොව එළිය දකින ඔවුන් ස්වභාවයෙන්ම දඟයන් වනවා. මේ දඟයන් අතරින් පිරිමි දරුවන් වඩාත් කාර්යක්‍ෂම බව පර්යේෂකයන්ගේ අදහසයි. සෙල්ලම් කිරීම සඳහා ගිය අවස්ථාවල එළිමහනේ දුව පැන ඇවිදීමේ වැඩි හැකියාවක් පෙන්වන්නේ ඒ නිසා බව සිතිය හැකිය. ගැහැණු දරුවන් එතරම් දුව පැන ඇවිදීමට කැමැත්තක් නැති බවයි මේ පර්යේෂකයන්ගේ මතය වන්නේ.

කේන්තිය

ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් වඩාත් කේන්ති ගන්නා බව පර්යේෂකයින් සඳහන් කරනවා. නමුත් ඒ වයස අවුරුදු දෙකක් වීමට පෙර කාලයේ යි. බිහිවීමට ප්‍රථම ගර්භාෂයේ ගත කරන සමයේ ඇතිවන ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන ක්‍රියාවලිය මෙයට බලපාන පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙනවා. මෙහිදි කේන්තිය අධික වීම නිසා පිරිමි දරුවන් හඬාවැටෙන අතර ගැහැණු දරුවන් සපා කෑම සහ කෑ ගැසීම සිදුකරන බවත් පර්යේෂකයන් සඳහන් කරනවා.

ඇවිදීම

පිරිමි දරුවන් ගැහැණු දරුවන්ට වඩා ඉක්මනින් ඇවිදින බව මෙම පර්යේෂකයන් පෙන්වා දෙනවා. නැගිටීම, දණ ගෑම, එහා මෙහා යාම, අල්ලාගෙන සිටගැනීම ආදී ඇවිදීමට ප්‍රථම ක්‍රියාකාරකම් ඉක්මනින් සිදු කරන්නේ පිරිමි දරුවන් බව ඔවුන්ගේ මතයයි. නමුත් මේ මතය සෑම විටම නිවැරදි නොවන බව තවත් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ ගැහැණු පිරිමි දරුවන් දෙපාර්ශවයම මාස නවයත් මාස එකොළහත් අතර කාලයේ දී ඇවිදීම ආරම්භ කරන බවයි. පිරිමි දරුවන්ගේ කායික වර්ධනය හා ශක්තිය මත ඔවුන් කලින් ඇවිදින්නට ඉඩ ඇති බව දෙවන පර්යේෂකයන් පිරිසගේ මතයයි.

කතා කිරීම

ගැහැණු දරුවන් ඉක්මනින් කතා කිරීමට ඉගෙන ගන්නා බව මෙහිදි පර්යේෂකයන් පිරිස පෙන්වා දෙනවා. ඔවුන්ගේ මතය වන්නේ පිරිමි දරුවන් කතා කිරීම ඇරඹීමට මාසයකට පමණ පෙර ගැහැණු දරුවන් කතා කිරිම ආරම්භ කරන බවයි. එමෙන්ම හොඳින් කතා කිරිම ඇරඹීමට පිරිමි දරුවන්ට අඩුම වශයෙන් වසර දෙකක් ගතවන බව එංගලන්යත ජාතික වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙන අතර ගැහැණු දරුවන් සම්පුර්ණයෙන් කතා බහ ආරම්භ කිරීමට ගත කරන්නේ මාස දහ අටකටත් අඩු කාලයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා. නමුත් මේ දෙපාර්ශවයේම කතා බහ ආරම්භ වීමට මෙන්ම කතා බහ සකස් වීමටත් අවට පරිසයෙන් ද සුවිශේෂි දායකත්වයක් අවශ්‍ය බව ත් මේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.

නිවැරදිව ළමා වැසිකිලිය භාවිතය

ළමා වැසිකිලිය නිවැරදිව භාවිත කිරීම අතින් ගැහැණු දරුවන් ඉදිරියෙන්ම සිටින බව පර්යේෂක මතයයි. ඔවුන් ඒ සඳහා අවම වශයෙන් ගත කරන්නේ වසර එක හමාරක් පමණයි. පිරිමි දරුවන් ඒ සඳහා අඩුම වශයෙන් වසර දෙකක්වත් මේ සඳහා ගන්නා බව වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙනවා.

සටහන චාපා හංසිනි ආටිගල